කියවීම්
2026 ජූලි 21
Tuesday of the Sixteenth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
මීකා 7:14-15, 18-20
14සරුසාර ප්‍රදේශවලින් වට වී, කාන්තාරයක හුදකලා ව සිටින, ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්නුව මැනව. පෙර කාලයේ දී මෙන් බාෂාන්හි ද ගිලියද්හි ද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව.
15මිසරයෙන් පිටතට ආ දවස්වල දී මෙන් අරුමපුදුම දේ අපට පෙන්නුව මැනව.
18සමිඳුනි, ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා, ඔවුන්ගේ පව් පහකරන, ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිත් ද? එතුමාණෝ උදහස සදහට ම තබා නොගන්න සේක. මන්ද, එතුමාණෝ තිරසර පෙම ප්‍රිය කරන සේක.
19එතුමාණෝ අපට යළි අනුකම්පා කරන සේක; අපේ පව් පාගාදමන සේක; අපේ සියලු පව් මුහුදේ පත්ලට හෙළාදමන සේක.
20දුරාතීතයේ සිට අප පියවරුන්ට දිවුළාක් මෙන් ජාකොබ්ට විශ්වාසකමත්, ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වන සේක.
Responsorial Psalm
ගීතාවලිය 85:2-4, 5-6, 7-8
2ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක; ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක.
3ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවාදැමූ සේක; ඔබේ ඇවිලෙන උදහස පහකළ සේක.
4අපේ ගැළවුම්කාර දෙවිඳුනි, අප ආපසු ගෙන අව මැනව. ඔබේ කෝපය අප වෙතින් ඉවත් කළ මැනව.
5සදහට ම ඔබ අප සමඟ උදහස් ව සිටින සේක් ද? ඔබේ කෝපය පරපුරෙන් පරපුරට ඇවිළි ඇවිළී යන්න ඉඩ දෙන සේක් ද?
6ඔබේ සෙනඟ ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යළි අපට ජීවනය දුන මැනව.
7සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්නුව මැනව. ගැළවීමේ පිහිට අපට ද දානය කළ මැනව.
8දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 14:23
23ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.
Gospel
ශුද්ධ වූ මතෙව් 12:46-50
46උන් වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ.
47එවිට එක් කෙනෙක් උන් වහන්සේට කතා කොට, ”බලන්න, ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිති”යි කී ය.
48එහෙත්, උන් වහන්සේ එසේ කී අයට උත්තර දෙමින්, ”මාගේ මෑණියෝ කවුරු ද? මාගේ සහෝදරයෝ කවුරු ද?” කියා
49සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට, ”මෙන්න, මාගේ මෑණියෝ සහ සහෝදරයෝ!
50ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.