කියවීම්
2026 ජූලි 4
Saturday of the Thirteenth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
ආමොස් 9:11-15
11ඒ දවසේ දී, ගරාවැටුණු ගෙයක් වැනි දාවිත් රජුගේ වංශය මම යළි පුනරුත්ථාපනය කරන්නෙමි. එහි බිත්තිවල ඇති කපොලු අහුරා, නටබුන් ප්‍රතිසංස්කරණය කර පෙර තිබුණු තත්ත්වයට පමුණුවන්නෙමි.
12එවිට ඉශ්රායෙල් ජනයා, ඒදොම් රටේ ඉතිරි අය ද, මට හිමි ව තිබුණු ජාතීන් ද අයිති කර ගන්නෝ ය.” මෙසේ වදාරන්නේ, මෙය ඉටුවන්නට සලස්වන සමිඳාණන් වහන්සේ ය.
13තවද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”සීසා ඉවර වූ වහා ම අස්වැන්න ඇති වේ. බීජ වැපුරූ වහා ම මිදි මිරිකීම ඇති වේ. කඳුවලින් මිහිරි මිදිපැන් වෑස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලා යේ.
14මාගේ සෙනඟ යළි සිය රටට ගෙනෙමි, ඔව්හු නටබුන් නගර යළි ගොඩනඟා එහි ජීවත් වන්නෝ ය. ඔව්හු මිදි වතු වවා මිදියුස බොන්නෝ ය. ඔව්හු වතු ද වවා එහි පල කන්නෝ ය.
15මා ඔවුන්ට දුන් දේශයෙහි මම ඔවුන් පිහිටුවන්නෙමි. කිසි කලෙක නැවත ඔව්හු එයින් උදුරනු නොලබන්නෝ ය.” නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 85:9 and 10, 11-12, 13-14
9එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
10තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.
11විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.
12සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය.
13දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය. එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 10:27
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel
ශුද්ධ වූ මතෙව් 9:14-17
14එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, ”පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ඇසූ හ.
15ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත.
16තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ.
17නව මිදියුස පරණ බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. වත් කළොත්, බඳුන පැළී, මිදියුස ඉහිරී, බඳුනුත් නාස්ති වන්නේ ය. එසේ නොව, ඔව්හු නව මිදියුස නව බඳුන්වල වත් කරති; එවිට ඒ දෙක ම ආරක්ෂා වේ.”