කියවීම්
2026 ජූලි 13
Monday of the Fifteenth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 1:10-17
10එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.
11එතුමාණෝ මෙසේ වදාරන සේක: ”නුඹලාගේ නිමක් නැති පූජාවලින් මට වැඩක් ඇද් ද? බැටළුවන් දවන පූජා ද තර සතුන්ගේ තෙල් ද මට තිත්ත වී ඇත. එළු, බැටළු, ගව ලේ මට රුස්සන්නේ නැත.
12නුඹලා මා නමදින්න පැමිණෙන විට මේවා ගෙනෙන්න කීවේ කවරෙක් ද? එසේ මාගේ මළුවෙහි පා තබන්න නුඹලාට කීවේ කවරෙක් ද?
13ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය. අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත.
14නුඹලාගේ අමාවක් උත්සව හා වන්දනා ගමන් මාගේ හද පත්ලෙන් මම හෙළා දකිමි. තවත් උසුලන්න බැරි තරමට ඒවා මට මහා බරකි.
15මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.
16ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න.
17යහපත කරන්න ඉගෙන ගන්න; පීඩා විඳින්නන්ට පිහිට වන්න; අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න; වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න. මෙසේ යුක්තිය ඉටු කරන්න.
Responsorial Psalm
ගීතාවලිය 50:8-9, 16-17, 21, 23
8නුඹලාගේ පූජා ගැන වත්, නිරතුරු මා වෙත ගෙනෙන දවන යාග පූජාවන් ගැන වත් මම දොස් නොපවරමි.
9එහෙත්, නුඹේ පට්ටිවලින් ගොනුන් වත්, නුඹේ ගාල්වලින් එළුවන් වත් මට වුවමනා නැත.
16එහෙත්, දුදනා හට දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: ”නුඹ මාගේ ආඥා කටපාඩමින් කියන්නේත්, මාගේ ගිවිසුම ගැන කතා කරන්නේත් කුමකට ද?
17මන්ද, නුඹ මාගේ අවවාදය නුරුස්සන්නෙහි ය; මාගේ වචනවලට පිටුපා යන්නෙහි ය.
21මේ සියල්ල නුඹ කෙළෙහි ය; මම කිසිවක් නොකීවෙමි. ඒ නිසා ‘මාත් නුඹ වාගේ ම ය’යි නුඹ සිතුවෙහි ය. එහෙත්, දැන් මම නුඹට දොස් පවරන්නෙමි; නුඹට කරුණු පහදා දෙන්නෙමි.
23ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි; මට කීකරු වන හැම දෙන ම මම සැබැවින් ගළවාගන්නෙමි.”
Alleluia
ශුද්ධ වූ මතෙව් 5:10
10යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය;
Gospel
ශුද්ධ වූ මතෙව් 10:34-11:1
34මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමි යි නොසිතන්න; සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි.
35මන්ද, තම පුතා පියා සමඟ ද, දුව සිය මවු සමඟ ද, ලේලී සිය නැන්දම්මා සමඟ ද, භේද කරවන පිණිස ආවෙමි.
36මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේ ම ගෙදර වැසියෝ ය.
37මට වඩා පියාට වත්, මවුට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. මට වඩා පුතාට වත්, දුවට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ.
38සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ.
39සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.”
40ඔබ පිළිගන්නා මා පිළිගන්නේ ය; මා පිළිගන්නා මා එවූ තැනැන් වහන්සේ පිළිගන්නේ ය.
41දිවැසිවරයෙකු වන නිසා දිවැසිවරයෙකු පිළිගන්නා දිවැසිවරයෙකුගේ විපාකය ලබයි; සත් පුරුෂයෙකු වන නිසා සත් පුරුෂයෙකු පිළිගන්නා සත් පුරුෂයෙකුගේ විපාකය ලබයි.
42මේ මාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුව ද ඔහු ශ්‍රාවකයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක් වත් යමෙක් දෙන්නේ ද, සැබැවින් ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ ය.”
1ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනාට උවදෙස් දී නිම කළ පසු එතැනින් පිටත් ව, ඔවුන්ගේ නුවරවල අනුශාසනා කරන පිණිසත්, දහම් දෙසන පිණිසත් ගිය සේක.