කියවීම්
2026 ජූලි 22
Feast of Saint Mary Magdalene
දවසේ දේව මෙහෙය
Reading I
ප්‍රේම ගී 3:1-4
1රාත්‍රියෙහි මා යහනේ දී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි. ඔහු සෙවූ නමුත්, ඔහු මට සම්බ නො වී ය.
2ඉතින් මම නැඟිට නුවර වීදිවල ද මංහන්දිවල ද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි. ඔහු සෙවූ නමුත්, මට ඔහු සම්බ නො වී ය.
3නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී ”මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවහු දැ”යි මම ඇසීමි.
4මා මඳක් දුර ඔවුන් පසු කර ගිය විට මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මට සම්බ විය. මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙදරටත්, මා උපන් කාමරයටත් ඔහු පමුණුවන තෙක් ඔහුට යන්න ඉඩ නුදුනිමි.
Reading I - Alternative
2 කොරින්ති 5:14-17
14සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි.
15උන් වහන්සේ දිවි පිදුවේ ජීවත් වන්නන් තවත් තමන් ම උදෙසා ජීවත් නොවී, ඔවුන් උදෙසා මැරී, උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.
16මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.
17එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ.
Responsorial Psalm
ගීතාවලිය 63:2, 3-4, 5-6, 8-9
2ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.
3ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය.
4මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.
5රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.
6යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි; රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.
8ම සිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත; ඔබ දකුණතින් මා උසුලන සේක.
9මා වනසනු වස්, මා සොය සොයා සිටින අය ඇත; ඔව්හු පාතාල ලෝකයේ පත්ලට ම යත් වා!
Alleluia
:-
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ජොහන් 20:1-2, 11-18
1සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය.
2එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, ”ඔවුන් සමිඳාණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු”යි කීවා ය.
11එහෙත් මරියා සොහොන් ගෙය ළඟ පිටත හඬමින් සිටියා ය. ඈ මෙසේ හඬමින් ම සොහොන් ගෙය ඇතුළට නැමී බැලුවා ය.
12එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයෙහි, සුදු වස්ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනෙකු, එක් කෙනෙක් හිස තැබූ තැන ද තව කෙනෙක් පාද ළඟ ද හිඳිනු දුටුවා ය.
13එකල ඔව්හු: ”ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්දැ”යි ඇගෙන් ඇසූ හ. ”ඔවුන් මාගේ සමිඳාණන් වහන්සේ ගෙන ගොස් කොතැන තැන්පත් කර ඇද්දැ යි මා නොදන්නා නිසා ය”යි ඈ පිළිතුරු දුන්නා ය.
14මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී, ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවා ය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තී ය.
15ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන් ද? ඔබ කවරෙකු සොයන්නෙහි දැ”යි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූ සේක. ඈ උන් වහන්සේ උයන්ගොව්වා යයි සිතා: ”මහතාණෙනි, ඔබ උන් වහන්සේ ගෙන ගියා නම්, උන් වහන්සේ කොතැන තැන්පත් කෙළෙහි දැ යි මට කිව මැනව; මම උන් වහන්සේ රැගෙන යමි”යි කීවා ය.
16ජේසුස් වහන්සේ, ”මරියා” කියා ඈ ඇමතූ සේක. ඈ ද, හැරී, ”රබ්බෝනි”යි හෙබ්‍රෙව් බසින් උන් වහන්සේට පිළිවදන් දුන්නා ය. එහි අර්ථය ‘ගුරුදේවයෙනි’ යනුයි.
17ජේසුස් වහන්සේ කතා කොට, ”මා අල්ලන්නට එපා; මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, ‘මම, මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්නෙමි’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.
18මග්දලායේ මරියා ශ්‍රාවකයන් වෙතට ගොස්, ”මම ජේසුස් වහන්සේ දිටිමි”යි කියා ද, මේ දේවල් උන් වහන්සේ ඈට වදාළ බව ද, ඔවුන්ට දැන්වූවා ය.