ජූනි 2026

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
282930
අද දිනට

කියවීම්

2026 ජූනි 1

Memorial of Saint Justin, Martyr

දවසේ දේව මෙහෙය
Reading I

2 පේදුරු 1:2-7

2දෙවියන් වහන්සේ ද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ ද දැනගැන්මෙන්, කරුණාවත් සාමදානයත් බහුල ලෙස ඔබට ලැබේ වා! 3උන් වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන සියලු දේ අපට දී ඇත. එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනැන් වහන්සේ දැනගැනීම කරණකොටගෙන ය. 4මෙලෙස උන් වහන්සේ ඉතා අගනා, අතිඋතුම් පොරොන්දු අපට දානය කර ඇත. එසේ කෙළේ තෘෂ්ණාව නිසා ලෝකයෙහි ඇති දූෂ්‍යකමින් ඔබ ගැළවී ඒ පොරොන්දු මඟින් දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිස ය. 5එබැවින් ඔබේ මුළු වීර්යයෙන් ඇදහිල්ලට යහපත්කම ද යහපත්කමට දැනගැන්ම ද, 6දැනගැන්මට ආත්ම දමනය ද, ආත්ම දමනයට ඉවසිල්ල ද ඉවසිල්ලට දේව භක්තිය ද 7දේව භක්තියට සහෝදර ස්නේහය ද, සහෝදර ස්නේහයට ප්‍රේමය ද එකතු කරන්න.
Responsorial Psalm

ගීතාවලිය 91:1-2, 14-15, 15-16

1පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය. 2ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: ”එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.” 14සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි. 15ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි. 16දිගායු දී ඔහු සතුටු කරන්නෙමි. මාගේ ගැළවීම මම ඔහුට සපුරා දක්වන්නෙමි.”
Alleluia

එළිදරව් 1:5

5මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.
Gospel

ශුද්ධ වූ මාර්ක් 12:1-12

1ජේසුස් වහන්සේ ඔවුන්ට තවදුරටත් උපමා මඟින් කතා කරමින් මෙසේ වදාළ සේක: ”එක් මිනිසෙක් මිදි වත්තක් වගා කොට, එය වටා වැටක් බැඳ, මිදි යන්ත්‍රයට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, ගොවීන්ට අඳයට දී පිට රට ගියේ ය. 2ඔහු මිදි වත්තේ පලදාවෙන් සිය කොටස අඳකාරයන්ගෙන් ගන්නා පිණිස අස්වැන්න වාරයේ දී ගොවීන් වෙත දාසයෙකු යැවී ය. 3ඔව්හු දාසයා අල්ලා තළා පෙළා, ඔහු හිස් අතින් හැරියෝ ය. 4යළිත් ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙත යැවී ය. ඔව්හු ඔහුගේ හිස තුවාළ කොට ඔහුට නින්දා අපහාස ද කළහ. 5ඔහු තවත් කෙනෙකු යැවී ය. ඔව්හු ඔහු ද මැරූ හ; තවත් බොහෝ දෙනෙකුන්ට එසේ ම කළහ. සමහරු තැළුම් කෑ හ; සෙසු අය මැරුම් කෑ හ. 6ඔහුට තව එක් කෙනෙක්, එනම්, ප්‍රේමාන්විත පුත්‍ර රත්නයක් සිටියේ ය. ‘ඔවුන් මාගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’යි කියා, අවසාන වශයෙන් ඔහු ද ඔවුන් වෙත යැවී ය. 7එහෙත්, ඒ ගොවීහු තමන් අතර කතා වී, ‘මේ උරුමක්කාරයා ය. එන්න, මොහු මරමු. එවිට උරුමය අප සතු වන්නේ ය’ කියා 8ඔහු අල්ලා, මරා, මිදි වත්තෙන් බැහැරට ඇද දැමූ හ. 9ඉතින් මිදි වතු හිමියා කුමක් කරනු ඇද් ද? ඔහු ඇවිත් ඒ ගොවීන් නසා දමා මිදි වත්ත අන් අයට පවරනු ඇත. 10මේ ශුද්ධ ලියවිලි පදයවත් ඔබ කියවා, නැද් ද? ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම කොණේ මුල් ගල වී ඇත; 11මෙය සමිඳුන්ගේ ම ක්‍රියාවකි, අප ඇස් හමුයෙහි එය විස්මයජනක ය.’ ” 12මේ උපමාව තමන්ට විරුද්ධ ව එල්ල කළ බව තේරුම්ගත් ඔව්හු උන් වහන්සේ අල්ලන්නට තැත් කළහ. එහෙත්, ජනකායට බිය වූයෙන් ඔව්හු උන් වහන්සේ අත්හැර යන්න ගියහ.