කියවීම්
2026 ජූලි 11
Memorial of Saint Benedict, Abbot
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 6:1-8
1උශ්ශියා රජු මරණයට පත් වූ අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන් වහන්සේගේ සළුවෙන් දේව මාලිගාව පිරී තිබුණේ ය.
2සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය.
3එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය: ”සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය. සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය. උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.”
4ඔවුන්ගේ මොරගැසීමේ හඬට දේව මාලිගාවේ අත්තිවාරම සෙලවුණේ ය; දේව මාලිගාව ද දුමෙන් පිරුණේ ය.
5එවිට මම මෙසේ කීමි: ”අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”
6එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්,
7එය මාගේ මුඛයෙහි තවරා, ”මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය.
8එවිට, ”මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, ”මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.
Responsorial Psalm
ගීතාවලිය 93:1, 1-2, 5
1සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක.
2ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය. ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක.
5සමිඳුනි, ඔබේ අණපණත් සදාතනික ය. ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.
Alleluia
1 පේදුරු 4:14
14ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් ඔබ ආශීර්වාද ලද්දහු ය. මන්ද, තේජාන්විත ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ ඔබ කෙරෙහි රඳන සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 10:24-33
24ගෝලයෙක් සිය ගුරුවරයාට වඩා උසස් නොවේ. දාසයෙක් සිය ස්වාමියාට වඩා උසස් නොවේ.
25ගෝලයා සිය ගුරුවරයාට සමාන වීමෙන් ද, සේවකයා සිය ස්වාමියාට සමාන වීමෙන් ද සෑහීමට පත් විය යුතු ය. ඔව්හු ගෘහ මූලිකයාට ‘බෙල්සෙබුල්’ යයි කීවොත්, ගෙයි වැසියන්ට ඊටත් වැඩියෙන් අපහාස නොකරත් ද?”
26එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද, දැන් සැඟ වී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ. සෑම රහසක් ම ප්‍රකට කරනු ලැබේ.
27මා විසින් ඔබට අඳුරේ දී පවසන ලද දෙය ඔබ දවාලේ දී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය, ගෙමුදුන්වලින් ප්‍රකාශ කරන්න.
28ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න.
29ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේ ද? එහෙත්, එයින් එකෙක් වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත් ව බිමට නොවැටෙන්නේ ය.
30ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත.
31එබැවින් බිය නොවන්න; ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේ ය.
32යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි.
33එහෙත්, යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේ ද, මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි.”