කියවීම්
2026 සැප්තැම්බර් 6
Twenty-third Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
එසකියෙල් 33:7-9
7‘එසේ ම මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්රායෙල් සෙනඟට මුර සෙබළෙකු කෙළෙමි. නුඹ ද මාගේ මුවින් වචනය අසා මාගේ නාමයෙන් ඔවුන්ට අවවාද කරන්න.
8එම්බා දුෂ්ටය, නුඹ නසිනවා ම ඇතැ යි මා දුෂ්ටයාට කී කල්හි තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාද කිරීමට නුඹ කතා නොකර සිටියොත්, දුෂ්ට වූ ඔහු තමාගේ පාපයෙහි ම නසිනු ඇත. එහෙත්, නුඹ ඔහුගේ මරණය ගැන වගකිවයුත්තා වශයෙන් මම සලකමි.
9එසේ වී නමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාද කළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනු ඇත. එසේ වූවොත්, නුඹේ ප්‍රාණය නුඹ ගළවාගනු ඇත.’ ”
Responsorial Psalm
ගීතාවලිය 95:1-2, 6-7, 8-9
1එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු.
2තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු; එතුමන් හට ජය මංගල ගී ගයමු.
6එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.
7එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
9එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.
Reading II
රෝම 13:8-10
8එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති.
9මන්ද, ”කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න, ලෝභ නොවන්න” යන ආඥා ද තවත් අමතර ආඥා ඇත්නම් ඒවා ද, ”නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන පාඨයෙහි සම්පිණ්ඩනය වී ඇත.
10ප්‍රේමය අසල්වැසියාට නපුරක් නොකරයි. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉටු කිරීම ය.
Alleluia
2 කොරින්ති 5:19
19එහි තේරුම නම්, මිනිසුන්ගේ පව් ඔවුනට විරුද්ධ ව ගණන් නොගෙන ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, දෙවියන් වහන්සේ, ලෝකය තමන් වහන්සේට සමඟි කරගනිමින් සිටි බවත්, ඒ සමඟි කිරීමේ සේවය අපට භාර දුන් බවත් ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 18:15-20
15ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත්, ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහි ය.
16නොපිළිගත්තොත්, සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක් ම ස්ථීර වන පිණිස ඔබ සමඟ තවත් එක් කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න.
17ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න.
18සැබැවින් ම මම ඔබට කියමි, ඔබ පොළොවෙහි දී යමක් බඳින්නහු ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නහු ද, එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය.
19නැවතත් මම ඔබට කියමි, පොළොවෙහි ඔබෙන් දෙදෙනෙක් තමන් අයැදින කවර දෙයක් ගැන වුව ද එකඟ වන්නෝ නම්, ස්වර්ගයෙහි වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුන්ට ලැබෙන්නේ ය.
20මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”