සැප්තැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
27282930
අද දිනට

කියවීම්

2026 සැප්තැම්බර් 11

Friday of the Twenty-third Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

1 කොරින්ති 9:16-19, 22-27

16මා සුබ අස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කරගැනීමට කාරණයක් නොවේ. මන්ද, සුබ අස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුබ අස්න දේශනා නොකළොත් මම මහා කාලකණ්ණියෙක් වෙමි. 17මාගේ ම කැමැත්තෙන් මම සුබ අස්න දේශනා කරම් නම්, වැටුපක් ලබාගැනීමේ අයිතියක් මට ඇත. එහෙත් මම මාගේ කැමැත්ත නොතකා, එම සේවය කරම් නම්, මා එසේ කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරූ කාර්යයක් ලෙස ය. 18එසේ නම් මාගේ වැටුප කුමක් ද? ඒ වැටුප නම්, අය කිරීමක් නැති ව, සුබ අස්නේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර හැර, සුබ අස්න දේශනා කිරීමයි. 19මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත්, බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි. 22දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළෙමි. 23මා මේ සියල්ල කරන්නේ, සුබ අස්න උදෙසා එහි ආශීර්වාදවලට හවුල්කාරයෙකු වන පිණිස ය. 24දිවීම් තරඟයක දී බොහෝ දෙනෙකු දුවන නමුත්, ත්‍යාගය දිනා ගන්නේ එක් කෙනෙකු පමණක් බව ඔබ නොදන්නහු ද? එසේ ම ඔබත් දිනන පිණිස දුවන්න. 25දිනන පිණිස වීර්ය කරන සෑම ක්‍රීඩකයෙක් ම හැම අතින් ම දැඩි පුහුණුවක් ලබයි. ඔවුන් එසේ කරන්නේ පර වී යන මල් ඔටුන්නක් ලබාගන්නා පිණිස ය. අප එසේ කරන්නේ පර වී නොයන ඔටුන්නක් ලබාගන්නා පිණිස ය. 26එහෙයින් මා දුවන්නේ දිනුම් කණුව දෙස නොබලා දුවන්නෙකු මෙන් නොවේ. පහර දෙන්නේ සුළඟට පහර දෙන මල්ලව ක්‍රීඩකයෙකු මෙන් නොවේ. 27මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු, කිසි ලෙසකින් වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස ය.
Responsorial Psalm

ගීතාවලිය 84:3, 4, 5-6, 12

3සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත. 4ඔබේ ගෘහයෙහි වසන්නෝ කොපමණ වාසනාවන්ත ද? ඔව්හු නිරතුරු ඔබට පසස් ගී ගයන්නෝ ය. 5වන්දනාවේ යන පිණිස සිත යොමු කරගත්, ඔබ සරණ කොටගත් අය කොපමණ වාසනාවන්ත ද? 6ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යන කල එය උල්පත් සහිත ස්ථානයක් කරගනිති. පළමු වන වැහි වලාව එය දිය කඩිතිවලින් පුරවන්නේ ය. 12අහෝ සව් බලැති සමිඳුනි! ඔබ අදහන මිනිසා කොපමණ වාසනාවන්ත ද?
Alleluia

ශුද්ධ වූ ජොහන් 17:17, 17

17සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය.
Gospel

ශුද්ධ වූ ලූක් 6:39-42

39තවද, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: ”අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකි ද? ඔවුන් දෙදෙනා ම වළක වැටෙන්නේ නැද් ද? 40ගෝලයා ගුරුවරයාට වඩා උසස් නොවේ. එහෙත්, පූර්ණ පුහුණුව ලත් සැම දෙන ම තම ගුරුවරයා හා සම වන්නෝ ය. 41ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ සොයන්නේ මන් ද? 42නොහොත් ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා, ‘සහෝදරය, ඔබේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්නට ඉඩ දෙන්නැ’යි සහෝදරයාට කියන්නට ඔබට කෙසේ හැකි වේ ද? කෛරාටික ය, පළමු කොට ඔබේ ම ඇසින් ලී කොටය ඉවත ලන්න. එවිට සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්න ඔබට මැනවින් පෙනෙනු ඇත.”