සැප්තැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
27282930
අද දිනට

කියවීම්

2026 සැප්තැම්බර් 22

Tuesday of the Twenty-fifth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

හිතෝපදේශ 21:1-6, 10-13

1රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක. 2මිනිසෙකුට තමන් කරන කොයි දෙයත් හරි යයි පෙනේ, එහෙත් සමිඳාණෝ මිනිස් හදවත කිරා බලන සේක. 3දැහැමිකම හා යුක්තිය ඉටු කරන්න, එය පුද පඬුරුවලට වඩා සමිඳුන්ට ප්‍රසන්න ය. 4උඩඟු බැල්ම ද අහංකාර සිත ද යන මේ පව් දුදනන්ගේ චරිත ලක්ෂණ වේ. 5හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය; ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය. 6වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහ ව යයි, ඔහු මරණයේ මලපත්වල ද පැටලේ. 10දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය; ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත. 11උඩඟු මිනිසාට තළන්න, එවිට නූගතා ගුරුකම් ලබයි. නැණවතාට ඔවා බස් දෙන්න, එවිට ඔහු වැඩියෙනුත් දැනුම ලබයි. 12දැහැමි දෙවිඳාණෝ දුදනන්ගේ පරපුර අවසන් කරන සේක; දුදනන් විනාශ කර දමන සේක. 13දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.
Responsorial Psalm

ගීතාවලිය 119:1, 27, 30, 34, 35, 44

1නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය. 27ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව. එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි. 30සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි. 34මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි. 35ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව. මන්ද, එය මාගේ ප්‍රීතිය වේ. 44මෙසේ ඔබේ ව්‍යවස්ථාව සදහට ම නොකඩවා පිළිපදින්නෙමි.
Alleluia

ශුද්ධ වූ ලූක් 11:28

28උන් වහන්සේ ද, ”එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ලූක් 8:19-21

19උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ වෙත ආහ. එහෙත්, සමූහයා නිසා උන් වහන්සේට ළං වන්න ඔවුන්ට නොහැකි විය. 20එවිට, ”ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ දකිනු රිසියෙන් පිටත සිටිති”යි උන් වහන්සේට දන්වනු ලැබී ය. 21එහෙත් උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති”යි වදාළ සේක.