කියවීම්
2026 සැප්තැම්බර් 10
Thursday of the Twenty-third Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
1 කොරින්ති 8:1-7, 11-13
1දේවතාවන්ට පුදන පිදේනි ගැන මම දැන් කතා කරමි. අප සියල්ලන්ට ම ඥානය ඇති බව අපි දනිමු. ඥානය අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය ශුභසිද්ධිය සලසයි.
2යමෙක් තමා යමක්කමක් දන්නේ යයි සිතයි නම්, දත යුතු අන්දමට ඔහු තව ම දැනගෙන නැත.
3එහෙත් යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරයි නම් දෙවියන් වහන්සේ ඔහු දන්නා සේක.
4දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමු ද? දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත්, එක ම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු.
5සුරලොව හා නරලොව ‘දෙවිවරුන්’ යයි කියන අය ඇතත් මෙවැනි ‘දෙවිවරුන්’ හා ‘ස්වාමිවරුන්’ බොහෝ දෙනෙකු සිටියත්,
6අපට ඇත්තේ එක ම දෙවි වන පියාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේ උන් වහන්සේ ය. අප ජීවත් වන්නේත් උන් වහන්සේ උදෙසා ය. තවද, අපට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් නම් එක ම සමිඳාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේත්, අප ජීවත් වන්නේත් උන් වහන්සේ කරණකොටගෙන ය.
7එහෙත් හැම දෙන ම එය නොදනිති. දේවතා පූජාවට පුරුදු වී සිටින සමහරු ඔවුන් වළඳන ආහාර දේවතාවන්ට පිදූ පිදේනි යයි තවමත් සිතති. මෙලෙස ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය කෙලෙසී ඇත.
11එසේ නම් ඒ සහෝදරයා උදෙසා ක්‍රිස්තුන් වහන්සේ මළ නමුත් දුර්වල වූ ඔහු, ඔබගේ දැනගැන්ම නිසා විනාශයට පත් වේ.
12මෙසේ ඔබගේ සහෝදරයන්ට විරුද්ධ ව පව් කොට ඔවුන්ගේ දුර්වල හෘදය සාක්ෂිය තුවාළ කරන කල්හි ඔබ පව් කරන්නේ ක්‍රිස්තුන් වහන්සේට විරුද්ධ ව ය.
13එබැවින් ආහාරය නිසා මාගේ සහෝදරයාට බාධාවක් වේ නම්, මාගේ සහෝදරයාට බාධාවක් නොපැමිණෙන පිණිස මින් මතු කිසි කලෙක මාංස නොවළඳමි.
Responsorial Psalm
ගීතාවලිය 139:1-3, 13-14, 23-24
1සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක.
2මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක.
3මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක. මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක.
13ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක.
14මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක.
23දෙවිඳුනි, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකර, මාගේ සිතිවිලි දැනගත මැනව.
24මම පව් මඟ ගමන් කරම් දැ යි බැලුව මැනව. සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව.
Alleluia
1 ජොහන් 4:12
12කිසිවෙකු කිසි කලෙක දෙවියන් වහන්සේ දුටුවේ නැත. එහෙත්, අපි එකිනෙකාට ප්‍රේම කරමු නම්, දෙවියන් වහන්සේ අප තුළ වැඩවසන සේක. උන් වහන්සේගේ ප්‍රේමය ද අප තුළ පරිපූර්ණ වන්නේ ය.
Gospel
ශුද්ධ වූ ලූක් 6:27-38
27මට සවන් දෙන ඔබට මෙය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න;
28ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න;
29ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න.
30ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න.
31අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න.
32ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති.
33ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා එසේ කරති.
34ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති.
35එහෙත්, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ආපසු ලබන බලාපොරොත්තුවක් නැති ව ම ණයට දෙන්න. එවිට ඔබේ පල විපාක මහත් වේ; ඔබ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහු ය. මන්ද, කෙළෙහි ගුණ නොදත් අයට ද දුෂ්ටයන්ට ද උන් වහන්සේ කාරුණික ය.
36ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙන් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.”
37අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ.
38අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙන් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක.