කියවීම්
2026 සැප්තැම්බර් 26
Saturday of the Twenty-Fifth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
ධර්මදේශකයා 11:9-12:8
9තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න.
10ඔබේ සිතෙන් දුක් කරදර ඉවත ලා ජීවත්වන්න. මන්ද, යෞවන කාලයත්, වැඩි මහලු කාලයත් නිෂ්ඵල ය.
1විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය.
2ඒ කාලයේ දී ඉර, හඳ, තාරකාවල එළිය අඳුරු වන්නේ ය. වැහි වලාකුළු නොනැවතී එන්නේ ය.
3ඒ කාලයේ දී ගෙයි රැකවල්ලු වෙවුළන්නෝ ය; බලවන්තයෝ දුබල ව කුදු වන්නෝ ය; අඹරන්නෝ ස්වල්ප බැවින් ඇඹරීම නවතින්නේ ය; කවුළුවලින් බලන්නන්ගේ ඇස් අඳුරු වන්නේ ය.
4වීදියේ දොරවල් වසනු ලබන්නේ ය. ඇඹරීමේ ශබ්දය හීන වන්නේ ය. කුරුල්ලාගේ හඬට ද ඔහු අවදි වන්නේ ය. ගායිකාවන්ගේ ගී හඬ දුබල වන්නේ ය.
5ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.
6එසේ වන්නේ, රිදී දාමය හා රන් බඳුන වැටී කැඩෙන්නටත්, දිය කඩිත්තේ කළය බිඳෙන්නටත්, ළිඳේ රෝදය කැඩෙන්නටත්,
7අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.
8සියල්ල නිසරු ය; සෑම දෙය නිසරු ය යි ධර්මදේශකයා පවසයි.
Responsorial Psalm
ගීතාවලිය 90:3-4, 5-6, 12-13, 14 and 17
3ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, ”මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක.
4ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය.
5සැඬ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක; ඔව්හු සිහිනයක් මෙන් පහ වී යති; උදේ දලු දැමූ තණ පත හා සමාන වන්නෝ ය.
6උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.
12දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.
13සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.
14උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.
17අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!
Alleluia
2 තිමෝති 1:10
10එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 9:43-45
43ඔවුන් සියල්ලෝ ම දෙවියන් වහන්සේගේ මහානුභාව ගැන විස්මිත වූ හ.
44මා කියන දේ සාවධාන ව සිතට ගන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබන සේකැ”යි වදාළ සේක.
45එහෙත් ඔවුන්ට ඒ කීම අවබෝධ නො වී ය. එය ඔවුන්ට නොවැටහෙන ලෙසින් සැඟවී තිබිණි. ඔව්හු ඒ කීම ගැන උන් වහන්සේගෙන් ඇසීමටත් බිය වූ හ.