කියවීම්
2026 සැප්තැම්බර් 12
Saturday of the Twenty-Third Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
1 කොරින්ති 10:14-22
14එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, රූප නමස්කාරය වෙතින් පලා යන්න.
15සිහි නුවණ ඇත්තන්ට මෙන් මම ඔබට කතා කරමි. මා කියන දේ ඔබ ම විනිශ්චය කරන්න.
16අප ආසිරි කුසලාන ගෙන ආශීර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම නොවේ ද? අප රොටි කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම නොවේ ද?
17රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුව ද, එකම ශරීරයක් වෙමු. මන්ද, අප එක රොටියක් බෙදාගන්නා බැවිනි.
18ජුදෙව් ආගමික සිරිත ගැන සිතා බලන්න. පිදේනි වළඳන අය, ඒවායින් පුදනු ලබන දෙවියන් වහන්සේ සමඟ සහභාගි නොවෙත් ද?
19එයින් මා අදහස් කරන්නේ කුමක් ද? දේවතා පිදේනිවල හෝ දේවතාවන්ගේ හෝ යම් වටිනාකමක් ඇතැයි කියා ද?
20නැත. මා එයින් අදහස් කරන්නේ මිසදිටුවන් පුදන පිදේනි ඔවුන් පූජා කරන්නේ දෙවියන් වහන්සේට නොව දුෂ්ටාත්මයන්ට බවයි. දුෂ්ටාත්මයන් සමඟ ඔබ සහභාගි වෙනවාට මම කැමැති නොවෙමි.
21ඔබට සමිඳාණන් වහන්සේගේ කුසලානෙන් ද දුෂ්ටාත්මයන්ගේ කුසලානෙන් ද පානය කළ නොහැක. සමිඳාණන් වහන්සේගේ මේසයට ද දුෂ්ටාත්මයන්ගේ මේසයට ද ඔබට සහභාගි විය නොහැක.
22අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද?
Responsorial Psalm
ගීතාවලිය 116:12-13, 17-18
12සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?
13මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.
17මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.
18එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,
Alleluia
ශුද්ධ වූ ජොහන් 14:23
23ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.
Gospel
ශුද්ධ වූ ලූක් 6:43-49
43නරක පල දෙන හොඳ ගසක් වත්, හොඳ පල දෙන නරක ගසක් වත් නැත.
44එක එක ගස එහි පලවලින් හඳුනාගනු ලැබේ. මිනිස්සු කටු ගස්වලින් අත්තික්කා පල නෙළා නොගනිති; ගොකටු පඳුරකින් මිදි පල කඩා නොගනිති.
45යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයින් යහපත් දෙය ද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙය ද උපදවයි. මන්ද, සිතෙන් උතුරා යන දෙය කටින් පිට වේ.”
46මා වදාරන දෙය නොකර, මට ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන්නේ මන් ද?
47මා වෙතට විත් මාගේ අනුශාසනා අසා ඒවා පිළිපදින අය කවරෙකුට සමාන දැ යි ඔබට පෙන්වමි.
48ඔහු ගැඹුරට පොළොව කැණ, පර්වතය මත අත්තිවාරම දමා, ගෙයක් සෑදූ මිනිසෙකුට සමාන ය. ජල ගැල්මක් පැමිණ, සැඩ පහර ඒ ගෙට ගැසූ නමුත් එය මනා ලෙස ඉදි කොට තිබුණු බැවින් සොලවන්න නොහැකි විය.
49එහෙත් වචනය අසා, නොපිළිපදින තැනැත්තා අත්තිවාරමක් නැති බිමෙහි ගෙයක් තැනූ මිනිසෙකුට සමාන ය. සැඩ පහර ඒ ගෙට ගැසී ය, එවේලේ ම එය ඇද වැටුණේ ය. එහි විනාශය ද භයංකර විය.”