සැප්තැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
27282930
අද දිනට

කියවීම්

2026 සැප්තැම්බර් 7

Monday of the Twenty-third Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

1 කොරින්ති 5:1-8

1මිසදිටුවන් වුව ද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තට ම ආරංචි වී ඇත. එනම්, ඔබගෙන් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බව ය. 2එවැනි ක්‍රියාවක් ගැන ඔබට ආඩම්බර විය හැකි ද? නැත, ඒ ගැන ඔබ දුක් විය යුතු ය. ඔහු ඔබ වෙතින් නෙරපා දැමිය යුතු ය. 3සැබැවින් ම මම ගතින් ඔබගෙන් ඈත් ව සිටියත්, සිතින් ඔබ සමඟ සිටිමි. එලෙස ඔබ සමඟ සිටින්නාක් මෙන් ම මා දැනටමත් මේ දේ කරන පුද්ගලයා විනිශ්චය කර ඇත. 4එබැවින් සිතින් ඔබ අතර සිටින මා සමඟ, අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ එක්රැස් වූ විට, 5අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ බලයෙන් ඒ පුද්ගලයාගේ ආත්මය සමිඳාණන් වහන්සේගේ දවසේ දී ගැළවෙන පිණිස, ඔහුගේ ශරීරය නාස්ති වන පිණිස ඔහු සාතන්ට භාර කළ යුතු ය. 6ඔබගේ පාරට්ටුව නොහොබී. මුහුන් බිඳකින් මුළු පිටි පිඬක් පිපෙන බව ඔබ නොදන්නහු ද? 7ඔබ හැම අතින් ම පිරිසිදු වන පිණිස පාපය නමැති මුහුන් ඉවත් කරන්න. එවිට ඔබ අලුත් නුමුහුන් පිටි පිඬක් මෙන් වන්නහු ය. ඔබ දැනට ම එසේ බව මම දනිමි, එසේ වන්නේ අපගේ පාස්කු බැටළුවා වන ක්‍රිස්තුන් වහන්සේ පූජා කර ඇති බැවිනි. 8එබැවින් පරණ මුහුන්වලින් වත්, ඊර්ෂ්‍යාව සහ දුෂ්ටකම නමැති මුහුන්වලින් වත් නොව, අවංකකම ද සත්‍යය ද නමැති නුමුහුන් රොටියෙන් පාස්කු මංගල්‍යය පවත්වමු.
Responsorial Psalm

ගීතාවලිය 5:5-6, 7, 12

5අහංකාර අයට ඔබ අබිමුවෙහි තැනක් නැත්තේ ය. අපරාධකරුවන්ට ඔබ ද්වේෂ කරන සේක. 6සමිඳාණෝ බොරු තෙපලන දන වනසන සේක; මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක. 7මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි. 12මන්ද ඔබ දමිටුන්ට ආසිරි දෙන සේක; සමිඳුනි, ඔබ පෙම පලිහක් මෙන් ඔවුන් වට කරන සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 10:27

27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel

ශුද්ධ වූ ලූක් 6:6-11

6තවත් සබත් දිනෙක උන් වහන්සේ ධර්මශාලාවට ඇතුළු ව ඉගැන්වූ සේක. දකුණු අත පණ නැති මිනිසෙක් එහි විය. 7එවිට විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේට විරුද්ධ ව චෝදනාවක් එල්ල කරන අටියෙන් උන් වහන්සේ සබත් දිනයේ දී සුව කරනු ඇද්දැ යි බලමින් සිටියහ. 8එහෙත්, උන් වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, ”නැඟිට මෙ‍හි මැද සිටින්නැ”යි අත පණ නැති මිනිසාට වදාළ සේක. ඔහු එහි නැඟිට සිටියේ ය. 9එකල ජේසුස් වහන්සේ, ”සබත් දිනයේ දී අප කළ යුත්තේ යහපත ද නොහොත් අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නොහොත් නැසීම ද යන ප්‍රශ්නය මම ඔබෙන් අසමි”යි වදාළ සේක. 10උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, ”ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය. 11එවිට ඔව්හු කෝපයෙන් උමතු වී, ”ජේසුස් වහන්සේට කුමක් කරමු දැ”යි තම තමන් අතර කතා කරගන්නට වූ හ.