උපදේශකයා හෙවත් සිරාක් 11

පෙර මීළඟ
1දුප්පතා පැණවතෙක් නම් හිස ඔසවා සිටින්නේ ය, උත්තමයන් අතර අසුන් ගන්නේ ය. 2හොඳ පෙනුම නිසා මිනිසෙකු නොපසසන්න. යමෙකුගේ පෙනුම අනුව ඔහු කෙරෙහි අරුචියක් ඇති කර නොගන්න. 3මීමැස්සා වනාහි ඉගිලෙන කුඩා සතුන් අතරෙන් එකෙකි. එහෙත් ඌ නිපදවන දේ අතිප්‍රණීත ආහාරයකි! 4ඔබේ ශෝභන වස්ත්‍ර නිසා උඩඟු ලෙස නොහැසිරෙන්න. ඔබට ගෞරව ලැබෙන විට හිස උදුම්මා නොගන්න. සමිඳුන්ගේ කෘතීන් පුදුමාකාර වන හෙයිනි. එහෙත්, ඒවා මිනිසුන්ගෙන් සැඟවී ඇත්තේ ය. 5බොහෝ රජවරුන්ට බිම ඉඳගන්නට සිදු වී ඇත. කිසිවෙකු නොදැන සිටි මිනිසෙක් කිරීටය දරා ඇත. 6බොහෝ බලවත්තු සම්පූර්ණයෙන් ම ලජ්ජාවට පත් කරන ලද්දෝ ය. බොහෝ කීර්තිමත් මිනිස්සු අනුන්ගේ බලයට යටත් වී ඇත්තෝ ය. 7පරීක්ෂා කර බලන්ට පෙර දෝෂාරො‍්පණය නොකරන්න. පළමුවෙන් සිතා බලන්න; ඉන්පසු දොස් පවරන්න. 8පිළිතුරු දෙන්නට පෙර සවන් දෙන්න. කතාවකට අතරමඟ දී බාධා නොකරන්න. 9ඔබට අදාළ නොවන කටයුත්තක් ගැන කලබල නොවන්න. පව්කාරයන්ගේ අඬදබරවලට නොපැටලෙන්න. 10මාගේ පුත්‍රය, පමණට වඩා බොහෝ කටයුතුවලට අත නොගසන්න. ඒවා වැඩි කරගන්නෙහි නම්, දුක් විඳීම සිකුරු ය; වේගයෙන් ගියත් කෙළවරට නොපැමිණෙන්නෙහි ය. පලා යාමෙන් බේරෙන්නටත් නුපුළුවන. 11වැඩ කරන්නාවූ ද වෙහෙස වන්නාවූ ද ඉක්මන් කරන්නාවූ ද මනුෂ්‍යයෝ සිටිති. එහෙත්, ඔවුන්ගේ බලාපොරොත්තුව වඩ වඩාත් සුන් වී ඇත. 12ඉක්මන් ලෙස වැඩපළෙහි නොයෙදෙන එහෙත් උදව් පතන අය ද සිටිති. ඔව්හු ධනයෙන් දුප්පත් ය, දිළිඳුකමින් සාරවත් ය. සමිඳාණෝ ඔවුන් දෙස දැඩි ආශාවෙන් බලන සේක. ඔවුන්ගේ දුඃඛිත තත්ත්වයෙන් ඔවුන් ඔසවන සේක. 13ඔවුන්ට හිස ඔසවා සිටින්නට සලසන සේක; බොහෝ දෙනා ඒ ගැන මවිත වන්නො‍් ය. 14හොඳ හා නරක ද ජීවිතය හා මරණය ද දිළිඳුකම හා පොහොසත්කම ද සමිඳුන්ගෙන් නික්මෙන්නේ ය. 15ප්‍රඥාව හා තේරුම්ගැනීම ද ප්‍රේමය හා නීතිය දැනගැන්ම ද දැහැමි ක්‍රියා කිරීම ද සමිඳුන්ගෙන් නික්මෙන්නේ ය. 16වරද සහ අඳුර පව්කාරයන් ජන්මයෙන් ම ඇසුරු කරයි. නපුර ගැන ප්‍රීති වන අය සමඟ එය වැඩි වයසට පත් වෙයි. 17සමිඳුන්ගේ දීමනාව දැහැමි අයට ස්ථිර ව පවතින්නේ ය. උන් වහන්සේගේ කරුණාව නිතර ඔවුන්ට ජය අත් කර දෙන්නේ ය. 18සමහර මනුෂ්‍යයෝ සකසුරුවම්කමින් හා මසුරුකමින් ධනවත් වන්නො‍් ය. 19මට විවේකය සම්බ විය; දැන් ඉතින් මම මාගේ ධනය භුක්ති විඳින්නෙමි”යි කියන දවසෙහි දී ඒවා කොපමණ කල් පවතින්නේ දැ යි ඔව්හු නොදන්නො‍් ය. ඒ ධනය අනුන්ට තබා මැරෙන්ට ඔහුට වන්නේ ය. 20ඔබේ වැඩයට ඇලුම් ව එය ප්‍රීතියෙන් කරන්න. ඔබේ වැඩයෙහි ස්ථිර ව පවතින්න. 21පව්කාරයාගේ ක්‍රියාවන් ගැන මවිත නොවන්න. සමිඳුන් කෙරෙහි විශ්වාසය තබාගෙන ඔබේ වැඩෙහි යෙදෙන්න. ඉක්මනින් එක මොහොතකින් දුප්පතෙකු ධනවත් කිරීම සමිඳුන්ගේ නෙත් හමුයෙහි පහසු දෙයක් වන්නේ ය. 22සමිඳුන්ගේ ආශීර්වාදය ශක්තිමත් මනුෂ්‍යයාගේ විපාකය වන්නේ ය. එක මොහොතක දී සමිඳාණෝ ඔහුගේ ආශීර්වාදය සශ්‍රීක වන්නට සලසන සේක. 23මට අවශ්‍ය කුමක් ද, මෙතැන් පටන් මාගේ ලාභය කුමක් දැ”යි නොකියන්න. 24සර්ව සම්පූර්ණත්වය මට තිබේ: කුමන විපතක් මට සිදු විය හැක්කේ දැ”යි නොකියන්න. 25ලාභ ලැබෙන විට අලාභ සිහි කරන්නේ නැත. අලාභ දවසේ දී ලාභ අමතක කරනු ලැබේ. 26එක එක මනුෂ්‍යයාට ඔහුගේ මරණ දිනයෙහි දී ඔහුගේ ක්‍රියා අනුව විපාක සැලැස්වීම සමිඳුන්ට පහසු කාරණයකි. 27එක මොහොතක පීඩාවෙන් සමෘද්ධිය අමතක කරනු ලැබේ. මිනිසෙකුගේ අන්තිම මොහොතෙහි දී ඔහුගේ ක්‍රියා එළිදරව් කරනු ලබන්නේ ය. 28මරණයට පෙර මිනිසෙකුගේ භාග්‍යය ගැන පාරට්ටු නොකරන්න. මිනිසෙකු දැනගනු ලබන්නේ ඔහුගේ අන්තිමයේ දී ය. 29සැම කෙනෙකු ම ඔබේ ගෙදරට නොගෙනෙන්න. කපටියන්ගේ ප්‍රයෝග බොහෝ වන හෙයිනි. 30අහංකාර අයගේ හෘදය කූඩුවක සිරගත පක්ෂියෙකු මෙන් වන්නේ ය. ඔහු ඔත්තුකාරයෙකු මෙන් ඔබේ විනාශය බලා සිටින්නේ ය. 31අපවාද කියන්නා යහපත අයහපතට හරවන්නේ ය. පැසසිය යුතු ගුණ අගුණට හරවන්නේ ය. 32ගිනි පුපුරකින් උදුනක් අවුළුවනු ලබන්නේ ය. පව්කාරයා ලේ වැගිරවීමට රැක සිටින්නේ ය. 33කපටියාගෙන් පරිස්සම් වන්න, ඔහු නපුර සඳහා උපා යොදන්නේ ය. ඔහු ඔබ පිට නොමැකෙන කැළලක් තවරන්ට පුළුවන. 34නාඳුනන තැනැත්තෙකු ඔබේ ගෙදරට ඇතුළත් කර නොගන්න. ඔහු ඔබේ ගෘහයෙහි කරදර ඇති කරන්නේ ය. ඔහු ඔබේ ගෙදර අයගෙන් ඔබ ඈත් කරවන්නේ ය.