1ප්‍රඥා තොමෝ තමා ගැන ම පැසසුම් ගායනා කරන්නී ය, ඈ තම සෙනඟ අතර තම උදාරත්වය ප්‍රකාශ කරන්නී ය.
2මහෝත්තමයාණන් වහන්සේගේ සභාවෙහි ඈ තම මුඛය විවෘත කරන්නී ය. බලවතාණන් වහන්සේගේ අභිමුඛයෙහි ඈ තම උදාරත්වය ප්‍රකාශ කරන්නී ය.
3මම මහෝත්තමයාණන් වහන්සේගේ මුඛයෙන් නික්මුණෙමි; මීදුමක් මෙන් පොළොව වසාලූයෙමි.
4මම උසස් තැන්වල වාසය කෙළෙමි; මාගේ සිංහාසනය වලාකුළු කණුවක විය.
5මම හුදකලා ව අහස් කුස වට කර ගමන් කෙළෙමි; ගැඹුරේ පත්ලෙහි ගමන් කෙළෙමි.
6මුහුදේ තරඟ පිට හා මුළු පොළොව පිට ද සියලු මනුෂ්‍යයන් හා ජාතීන් කෙරෙහි ද මම රජකම් කෙළෙමි.
7මේ සියලු දෙනා අතරෙහි මම විවේක ස්ථානයක් සෙවීමි; කුමන දේශයක කඳවුරු බඳින්නට දැ යි සොයා බැලුවෙමි.
8එවිට සියලු දේ මැවූ තැනැන් වහන්සේ මට ආඥාවක් දුන් සේක. මා මැවූ තැනැන් වහන්සේ මාගේ කූඩාරම පිහිටුවන්නට තැනක් සැලැසූ සේක. ”ජාකොබ්හි ඔබේ කූඩාරම පිහිටුවන්න; ඉශ්රායෙල් ඔබේ උරුමය කර ගන්නැ”යි මට වදාළ සේක.
9සදා කාලයේ පටන් ආරම්භයේ දී ම උන් වහන්සේ මා මැවූ සේක. සදා කාලයට ම මම පවතින්නෙමි.
10ශුද්ධ කූඩාරමෙහි එතුමන් අබිමුව මම සේවය කෙළෙමි. මෙසේ මම සියොනෙහි නවාතැන් ගනිමි.
11උන් වහන්සේ සිය ප්‍රිය නගරයෙහි මාගේ නැවතුම් පළ මට ලබා දුනි. ජෙරුසලමෙහි මාගේ බලය භාවිතා කරමි.
12මහිමයෙන් පූර්ණ වූ සෙනඟක් තුළ මම මුල් ඇද්දෙමි. එනම්, සමිඳුන්ගේ කූඩාරමෙහි ය; උන් වහන්සේගේ උරුමයෙහි ය.
13ලෙබනොන්හි කිහිරි ගසක් මෙන් මම වර්ධනය වූයෙමි. හෙර්මොන් කන්ද මත දේවදාර ගසක් මෙන් වූයෙමි.
14මම එන්ගද්දි දේශයෙහි තාල වෘක්ෂයක් මෙන් ද ජෙරිකෝවේ සෙව්වන්දි ලැහැබ් මෙන් ද මිටියාවතෙහි ශෝභන ඔලීව ගසක් මෙන් ද අතු විහිදුවන සෙවණැති ගසක් මෙන් ද වැඩුණෙමි.
15කුරුඳු හා කස්තුරි මෙන් මම සුවඳ විහිදෙව්වෙමි. විශිෂ්ට සුවඳ ලාටු මෙන් සුගන්ධයක් පිට කෙළෙමි. ඒ සුවඳ මැලියම්, දුම්මල, පළිඟු සාම්බ්‍රානි මෙන් ය; කූඩාරම තුළ තුවරලා මෙන් .
16මම නුග ගසක් මෙන් මාගේ අතු විහිදෙව්වෙමි. මාගේ අතු තේජවන්ත ය, ශෝභමාන ය.
17මම රමණීය අතු ඇති මිදි වැලක් මෙන් වෙමි. මාගේ මල් මහිමයේ ද ධනයේ ද පලදාව වන්නේ ය.
18මම වනාහි පිවිතුරු ප්‍රේමයේ ද, ගරුබියේ ද දැනුමේ ද දැහැමි බලාපොරොත්තුවේ ද මාතාව වෙමි. ආදියේ පටන් එතුමන් විසින් පත්කරන ලද මාගේ දරුදැරියන් වෙත මම පැමිණෙමි.
19මා ආශා කරන ඔබ මා වෙත එන්න. මාගේ පලදාවෙන් සෑහීමට පත් වන්න.
20මා සිහි කිරීම මී පැණියට වඩා මිහිරි ය. මා අයිති කරගැනීම මී වදයට වඩා මධුර ය.
21මා අනුභව කරන්නෝ තවතවත් ආශා කරන්නෝ ය. මා පානය කරන්නෝ තවතවත් පිපාසා වන්නෝ ය.
22මට කීකරු වන්නා ලජ්ජා නොවන්නේ ය. මා කියන ලෙස කරන්නෝ පව් නොකරන්නෝ ය.
23ප්‍රඥාව හා ව්‍යවස්ථාව අන් කිසිවක් නොව මහෝත්තම දෙවියන් වහන්සේගේ ගිවිසුම් පොත වන්නේ ය. මෝසෙස් විසින් පතළ කරන ලද ව්‍යවස්ථාව වන්නේ ය. එය ජාකොබ්ගේ සභාවලට උරුමයක් වශයෙන් දෙන ලද්දේ ය.
24සමිඳුන් තුළ නොනවත්වා සවිමත් වන්න. ඔබට සවිය ලැබෙන ලෙස එතුමන්ට ඇලුම් කරන්න. සවි බලැති සමිඳාණෝ පමණක් දෙවිඳාණෝ ය. එතුමන් හැර වෙන ගැළවුම් කාරයෝ නැත.
25එය පීෂොන්හි ජලය මෙන් ප්‍රඥාව පිරීයන්නට සලසන්නේ ය. ඵල වාරයේ දී ටයිග්‍රීස් නදිය මෙන් වන්නේ ය.
26එය යුප්‍රටීස් නදිය මෙන් ඥානය උතුරා යන්නට සලසන්නේ ය. අස්වැන්න කාලයේ දී ජෝර්දානය මෙන් වන්නේ ය.
27නයිල් ගඟ මෙන් විනය ගලා යන්නට සලසන්නේ ය. මිදි නෙළන කාලයේ දී ගීහොන් මෙන් වන්නේ ය.
28ප්‍රථම මනුෂ්‍යයා එය සම්පූර්ණයෙන් ග්‍රහණය නොකෙළේ ය. එසේ ම නූතන මනුෂ්‍යයාත් එය තව ම සම්පූර්ණයෙන් තේරුම් නොගත්තේ ය.
29මන්ද, ඇගේ කල්පනා මුහුදට වඩා විශාල වන හෙයිනි, ඇගේ අරමුණ මහා ගැඹුරට වඩා සාරගර්භ වන හෙයිනි.
30තවද, මම ගංගාවකින් නික්ම එන දිය ඇලක් මෙන් වෙමි, උයනකට යන දිය පාරක් මෙනි.
31මම මාගේ පලතුරු වත්තට දිය දෙන්නට යමි”යි කීවෙමි. ”මාගේ මල් පාත්තිවලට ජලය සපයන්නට යමි”යි කීවෙමි. බලන්න, මාගේ දිය ඇල, ගංගාවක් වූයේ ය; ගංගාව මුහුදක් වූයේ ය.
32මම අරුණෝදය මෙන් විනය බබළන්නට සලසන්නෙමි; එහි ආලෝකය දුර තැන්වලට යවන්නෙමි.
33අනුශාසනය දිවැස් වැකියක් මෙන් පතුරුවන්නෙමි. මතු එන පරම්පරාවන් වෙත එය උරුමයක් මෙන් පමුණුවන්නෙමි.
34බලන්න, මා වැඩ කරන්නේ මා උදෙසා නොවේ; ප්‍රඥාව සොයන සියලු දෙනා උදෙසා ය.