උපදේශකයා හෙවත් සිරාක් 33

පෙර මීළඟ
1සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තාට උපද්‍රවයක් සිදු නොවන්නේ ය. ඔහුගේ තද දුකින් ඔහු නැවත නැවත නිදහස් කරනු ලබන්නේ ය. 2නීතිය පිළිකුල් කරන්නා ප්‍රඥා සම්පන්න නොවන්නේ ය: එහෙත්, ව්‍යාජ ලෙස නීතිය පිළිපදින්නා කුණාටුවකට අසුවුණු නැවක් මෙනි. 3නැණවත් මිනිසා නීතිය කෙරෙහි විශ්වාසය තබන්නේ ය. ඔහුට නීතිය කෙරෙහි දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි මෙන් විශ්වාසය තැබිය හැකි ය. 4ඔබ කියන්නට යන දේ ගැන සූදානම් වන්න. එවිට අසන්නෝ ඔබට ඇහුම්කන් දෙන්නෝ ය. උත්තර දෙන්නට පෙර, ඔබ දන්නා කරුණු පිළිවෙළට සකස් කරගන්න. 5මො‍්ඩයාගේ හැඟීම් කරත්ත රො‍්දයක් වැනි ය. ඔහුගේ සිතිවිලි කරකැවෙන කක්ෂයක් මෙන් කරකැවෙන්නේ ය. 6මද කිපුණු අශ්වයා උපහාස කරන මිතුරෙකු වැනි ය. යමෙකු උගේ පිටට නඟින විට ඌ සතුටින් නාද කරන්නේ ය. 7මුළු අවුරුද්ද තුළ දී ම ආලෝකය සූර්යයාගෙන් නික්මෙන්නේ නම්, එක දවසක් තවත් දවසකට වඩා වැදගත් වන්නේ මන් ද? 8උන් වහන්සේගේ තීරණයෙන් ඒවා වෙන් කොට දක්වනු ලැබූ හෙයිනි. උන් වහන්සේ සෘතු ද මංගල්‍යයන් ද වෙනස් ව පවතින්නට සැලැසූ සේක. 9උන් වහන්සේ සමහර ඒවා උසස් බවට පමුණුවා ශුද්ධවන්ත කළ සේක. අනෙක් ඒවා සාමාන්‍ය දවස් කළ සේක. 10සියලු මනුෂ්‍යයෝ පොළොවෙන් වන්නෝ ය. ආදම් පොළොවේ පසෙන් සාදන ලද්දේ ය. 11සමිඳාණෝ තම මහා ප්‍රඥාව අනුව ඔවුන් වෙනස් කොට සෑදූ සේක; ඔවුන්ගේ තත්ත්වයන් විසිතුරු කළ සේක. 12උන් වහන්සේ ඔවුන් අතරෙන් සමහරෙකුට ආශීර්වාද කර ඔවුන් උසස් කළ සේක. සමහරෙකු ශුද්ධවන්ත කර තමන් වහන්සේ ළඟට ගත් සේක. උන් වහන්සේ සමහරෙකුට සාප කර ඔවුන් පහත් කළ සේක. ඔවුන් තමන්ගේ තනතුරුවලින් පහත හෙළූ සේක. 13තමා කැමැති ආකාරයෙන් හැඩගස්වන කුඹලාගේ අතෙහි තිබෙන මැටි මෙන් මනුෂ්‍යයෝ තමන් මැවූ තැනැන් වහන්සේගේ හස්තයෙහි වන්නෝ ය. උන් වහන්සේ තම සාධාරණකම අනුව ඔවුන්ට පල විපාක දෙන සේක. 14අයහපත ඉදිරියෙහි යහපත ඇත්තේ ය. මරණය ඉදිරියෙහි ජීවිතය ඇත්තේ ය. එසේ ම බැතිමතා ඉදිරියෙහි පවිටුවා සිටින්නේ ය. 15එසේ හෙයින්, මහො‍්ත්තමයාණන් වහන්සේගේ සියලු කෘතීන් ගැන මෙසේ මෙනෙහි කරන්න. සියලු දේ යුග වශයෙන් ප්‍රතිවිරුද්ධ දේවල් මෙන් දක්නට ලැබෙන්නේ ය. 16මම අන්තිමයට පැමිණි තැනැත්තෙකු මෙන් සෝදිසියෙන් සිටියෙමි. මිදි නෙළන අය පසුපස ගොස් වැටුණු මිදි ගෙඩි අහුලන්නෙකු මෙන් වීමි. 17සමිඳුන්ගේ ආසිරියෙන් මම සියල්ලන්ට වඩා රැස් කෙළෙමි. මිදි නෙළන්නා මෙන් මම මිදි පල මිරිකාදමන බඳුන පිරවූයෙමි. 18මා උදෙසා පමණක් මා වෙහෙස නොවූ බව සලකන්න. පුහුණුව සොයන සියලු දෙනා උදෙසා මම වැඩ කෙළෙමි. 19සෙනඟගේ අධිපතියෙනි, මට ඇහුම්කන් දෙන්න. සභාවේ ප්‍රධානියෙනි, මට සවන් දෙන්න. 20ඔබේ පුත්‍රයාට හො‍් බිරිඳට හො‍් සහෝදරයාට හො‍් මිත්‍රයාට හො‍් ඔබේ ජීවිත කාලයෙහි දී ඔබ කෙරෙහි බලයක් නොදෙන්න. ඔබේ වස්තුව වෙන කවරෙකුට වත් නොදෙන්න. ඔබ ඒ ගැන කණගාටු වන්නෙහි ය. එය ආපසු ඉල්ලන්නට සිදු විය හැකි ය. 21ඔබ ජීවත් ව සිටින තෙක්, ඔබේ ශරීරයෙහි හුස්ම ඇති තෙක් කවරෙකුගේ වුවත් බලයට ඔබ යටහත් නොවන්න. 22මන්ද, යටහත් ව ඉල්ලමින් ඔබ තම දරුවන් දෙසට හැරෙනවාට වඩා ඔවුන් ඔබෙන් ඉල්ලීම සුදුසු වන හෙයිනි. 23ඔබේ සියලු ක්‍රියාවල දී ස්වාමියා මෙන් සිටින්න. ඔබේ හොඳ නමට කැළලක් ඇති කර නොගන්න. 24ඔබේ ජීවිතයේ දවස් අවසාන වන විට මරණ මොහොතෙහි දී ඔබේ උරුමය බෙදා හරින්න. 25තණ, පිදුරු කෝටුව හා බර යන මේවා කොටළුවාට ය; ආහාර, විනය හා වැඩ දාසයාට ය. 26ඔබේ දාසයාගෙන් වැඩ ගන්න; ඔබට චිත්ත සාමය ඇති වන්නේ ය. ඔහුගේ අත් අලස වන්නට හැරියොත් ඔහු නිදහස සොයන්නට පටන්ගන්නේ ය. 27වියගසෙන් හා තෝන් ලණුවෙන් බෙල්ල නැමෙන්නේ ය. දුෂ්ට දාසයාට දඬුකඳ හා දැති පොල්ල අවශ්‍ය ය. 28ඔහු අලස ව නොසිටින පිණිස වැඩෙහි යොදවන්න. මන්ද, අලසකම සියලු ආකාර මැරවරකම් උගන්වන හෙයිනි. 29ඔහුට සුදුසු වැඩෙහි ඔහු යොදවන්න. ඔහු අකීකරු වුවහොත් ඔහු යදම්වලින් බඳින්න. 30එහෙත්, කිසිවෙකුට අධික වශයෙන් නිර්දය ලෙස බල නොකරන්න. සාධාරණකමට විරුද්ධ ව කිසිත් නොකරන්න. 31ඔබට ඇත්තේ එක දාසයෙකු පමණක් නම්, ඔහු ඔබ මෙන් සලකන්න. මන්ද, ඔබ ඔහු ලෙයින් මිලයට ගත් හෙයිනි. 32ඔබට ඇත්තේ එක දාසයෙකු නම් ඔහු සහෝදරයෙකු මෙන් සලකන්න. මන්ද, ඔබ මෙන් ම ඔහු ඔබට අවශ්‍ය වන හෙයිනි. 33ඔබ ඔහුට පීඩා කර ඔහු පලා යන්නේ නම්, ඔහු සොයන්නට ඔබ කුමන මඟකින් යන්නෙහි ද?