උපදේශකයා හෙවත් සිරාක් 15

පෙර මීළඟ
1සමිඳුන් හට ගරුබිය පාන මිනිසා එසේ කරන්නේ ය. නීතිය දැඩි කොට තේරුම්ගන්නා ප්‍රඥාව ලබාගන්නේ ය. 2ඈ මවක මෙන් ඔහු හමු වීමට එන්නී ය. මනාලියක මෙන් ඈ ඔහු ආදරයෙන් පිළිගන්නී ය. 3ඈ ඔහු නැණවත්කම නමැති ආහාරයෙන් පෝෂණය කරන්නී ය. ප්‍රඥාව නමැති ජලය ඔහුට පානය කිරීමට දෙන්නී ය. 4ඔහු ඇය කෙරෙහි විශ්වාසය තබන අතර ලජ්ජාවට පත් නොවන්නේ ය. 5ඈ ඔහුගේ මිතුරන්ට ඉහළින් ඔහු උසස් කරන්නී ය. සභාව මැද ඔහුගේ මුඛය හරින්නී ය. 6ඔහුට වාසනාව ද ප්‍රීතියේ කිරුළක් ද සම්බ වන්නේ ය. උරුමය වශයෙන් ඔහු සදා කීර්තියක් ලබන්නේ ය. 7අනුවණයෝ කිසි කලක ඇය අත්කර නොගන්නෝ ය. පවිටු අය ඈ නොදකින්නෝ ය. 8ඈ අහංකාරයෙන් තොර ව සිටියි. බොරුකාරයෝ ඈ ගැන නොසිතන්නෝ ය. 9පවිටු අයගේ මුඛය ප්‍රශංසා ගීතය නොදන්නේ ය. මන්ද, සමිඳාණෝ එය එහි නොතැබූ සේක. 10ප්‍රශංසාව ප්‍රකාශ විය යුත්තේ ප්‍රඥාව තුළින් ය. සමිඳාණන් වහන්සේ ම එය පොළඹවන සේක. 11සමිඳාණෝ මට පව් කරන්ට සැලැසූ සේකැ”යි නොකියන්න. උන් වහන්සේ තමන් පිළිකුල් කරන දෙයක් නොකරන සේක. 12මා නොමඟ යැව්වේ උන් වහන්සේ ය”යි නොකියන්න. පවිටුවෙකුගෙන් උන් වහන්සේට කිසි පලක් නැත. 13සමිඳාණෝ පිළිකුල් වූ සියලු දෙයට වෛර කරන සේක. උන් වහන්සේට ගරුබිය පාන්නෝ ද එයට ප්‍රේම නොකරති. 14ආරම්භයේ දී උන් වහන්සේ මිනිසා මැවූ සේක. ඔහුගේ ම තීරණවලට ඉඩ දුන් සේක. 15ඔබ කැමැති නම්, පණත් ඉටු කිරීමට ඔබට පුළුවන. විශ්වාසවන්ත ව හැසිරීමට ඔබ තුළ බලයක් ඇත්තේ ය. 16ඔබ ඉදිරියෙහි උන් වහන්සේ ගින්න ද ජලය ද තැබූ සේක. අත දිගු කර ඔබ වඩා කැමැති දේ තෝරා ගන්න. 17මිනිසා අබිමුව ජීවිතය ද මරණය ද ඇත්තේ ය. මෙයින් මිනිසාට ඔහු වඩා කැමැති දේ දෙනු ලබන්නේ ය. 18සමිඳුන්ගේ ප්‍රඥාව අතිවිශාල ය. උන් වහන්සේ සර්වබලධාරී වන සේක; සියල්ල දන්න සේක. 19උන් වහන්සේගේ නෙත් තමන්ට ගරුබිය පාන්නන් දෙසට හැරී ඇත්තේ ය. මිනිසාගේ සියලු ක්‍රියාවන් උන් වහන්සේ දන්න සේක. 20අදමිටු වීමට උන් වහන්සේ කිසිවෙකුට අණ නොකළ සේක; කිසිවෙකුට පව් කිරීමට අවසරයක් නුදුන් සේක.