උපදේශකයා හෙවත් සිරාක් 35

පෙර මීළඟ
1නීතිය පිළිපැදීම බොහෝ යාග පූජා ඔප්පු කිරීමක් වන්නේ ය. පණත්වලට ඇලුම් ව සිටීම සමඟි පූජා ඔප්පු කිරීමක් වන්නේ ය. 2කළගුණ සැලකීම ඉතා හොඳ පිටිවලින් තැනූ පූජාවක් ඔප්පු කිරීම වැන්න. දන් දීම ප්‍රශංසාවේ යාගයක් ඔප්පු කිරීම ය. 3දුෂ්ටකමින් හැරෙන්නෝ සමිඳුන්ට ප්‍රසන්න වන්නෝ ය. අයුතුකම අත්හරින්නෝ වන්දි ගෙවීමේ යාගයක් ඔප්පු කරන්නෝ ය. 4සමිඳුන් ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටින්න. මන්ද, මේ සියලු දේ පණත්වලින් නියම කර තිබෙන හෙයිනි. 5ධර්මිෂ්ඨයාගේ පඬුර පූජාසනයට ප්‍රසන්න වේ. එහි සුගන්ධය මහො‍්ත්තමයාණන් වහන්සේ ඉදිරියෙහි ඉහළට නඟින්නේ ය. 6ධර්මිෂ්ඨයාගේ යාගය පිළිගනු ලබන්නේ ය; එහි ස්මරණය අමතක කරනු නොලබන්නේ ය. 7සමිඳුන්ට නිර්ලෝභී ලෙස ගෞරව කරන්න. ඔබ ඔප්පු කරන ප්‍රථම පල ගැන ලෝභ නොවන්න. 8ඔබ පඬුරක් ඔප්පු කරන සෑම විට ම ප්‍රීති සහගත මුහුණක් දක්වන්න. දසයෙන් කොටස ඔප්පු කරන විට ප්‍රීතිමත් වන්න. 9මහො‍්ත්තමයාණන් ඔබට දුන්නාක් මෙන් ඔබත් දෙන්න. ඔබේ වත්කම අනුව නිර්ලෝභී ලෙස දෙන්න. 10මන්ද, සමිඳාණන් ඔබට ආපසු ගෙවන හෙයිනි. උන් වහන්සේ සත් ගුණයක් දෙන සේක. 11අල්ලසක් දීමෙන් උන් වහන්සේ දූෂණය කරන්නට උත්සාහ නොකරන්න. උන් වහන්සේ එය පිළිගන්නේ නැත. අයුතු යාගයක් කෙරෙහි ඔබේ විශ්වාසය නොතබන්න. 12මන්ද, සමිඳාණන් විනිශ්චයකාරයෙකු වන හෙයිනි. උන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම නොබලන සේක. 13දුප්පතාට හානි සිදු වන ආකාරයෙන් උන් වහන්සේ මිනිසුන් නොසලකන සේක. උන් වහන්සේ පීඩිතයාගේ කටහඬට ඇහුම්කන් දෙන සේක. 14උන් වහන්සේ අනාථයාගේ ආයාචනය ඉවත නොලන සේක. තම මැසිවිල්ල වගුරුවන වැන්දඹුවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන සේක. 15වැන්දඹුවගේ කඳුළු ඇගේ කොපුල් පිට ගලා නොයන්නේ ද? ඒ කඳුළු වැගිරවීමට සැලැස්වූ තැනැත්තාට එරෙහි ව ඇය හඬයි. 16තම මුළු සිතින් දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නා පිළිගනු ලබන්නේ ය. ඔහුගේ අයැදුම වලාකුළු දක්වා නඟින්නේ ය. 17බැහැපත් මිනිසාගේ යැදුම් වලාකුළු සිදුරු කරගෙන යන්නේ ය. එය සමිඳුන් වෙත යන තෙක් ඔහු සැනසුම ලබන්නේ නැත. 18මහො‍්ත්තමයාණන් වහන්සේ ඔහු දෙස නෙත යොමු කරන තෙක්, ධර්මිෂ්ඨයාගේ අයිතිය දී යුක්තිය නැවත පිහිටුවන තෙක්, ඔහුගේ යාච්ඤාව නොනවතින්නේ ය. 19සමිඳාණෝ ප්‍රමාද නොවන සේක. අධර්මිෂ්ඨයන් උදෙසා ඉවසිලිමත් නොවන සේක. 20කෲරයන්ගේ තුනටිය කඩන තෙක්, ජාතීන්ගෙන් පළිගන්න තෙක්, 21අහංකාරිකයන්ගේ සේනාව සහමුලින් විනාශ කරන තෙක්, දුෂ්ටයන්ගේ යෂ්ටි කඩාදමන තෙක්, 22එකිනෙකාගේ ක්‍රියා අනුව ඔවුන්ට පල විපාක දෙන තෙක්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා ඔවුන්ගේ අභිප්‍රායයන් අනුව විනිශ්චය කරන තෙක්, 23තම ජනයාට යුක්තිය ඉටු කර තම දයාවෙන් ඔවුන් පුරවන තෙක්, උන් වහන්සේ ඉවසිලිමත් නොවන සේක. 24වියළි කාලයෙහි දී වැහි වලාකුළු මෙන් විපත්ති කාලයෙහි දී සමිඳුන්ගේ දයාව ඉතා පියකරු ය.