1තැනට නොහොබිනා තරවටුවක් ඇත්තේ ය. නැණවත් මිනිසෙකු අඟවන නිශ්ශබ්දතාවයක් ද ඇත්තේ ය.
2කෝපය තබාගැනීමට වඩා තරවටු කිරීම හොඳ ය.
3වරද පිළිගන්න මිනිසා දඬුවම වළක්වන්නේ ය.
4බලහත්කාරයෙන් යුක්තිය පසිඳාලන්නට තැත් කරන්නා, ස්ත්‍රියකගේ කන්‍යාභාවය නැති කරදමන්නට ආශා කරන නපුංසකයෙකුට සමාන ය.
5මිනිසෙක් නිශ්ශබ්ද ව සිටීමෙන් නැණවතෙකු මෙන් සලකනු ලබන්නේ ය. තවත් මිනිසෙක් ඔහුගේ දොඩමලුකම නිසා පිළිකුල් කරනු ලබන්නේ ය.
6කෙනෙකු නිශ්ශබ්ද ව සිටින්නේ උත්තර දීමට ඔහු නොදන්නා බැවිනි. තවත් මිනිසෙකු නිහඬ ව සිටින්නේ කතා කළ යුතු වේලාව ඔහු දන්නා බැවිනි.
7නැණවත් මිනිසා සුදුසු මොහොත එන තෙක් නිහඬ ව සිටින්නේ ය. එහෙත්, දොඩමලු අඥාන මිනිසා වැරදි මොහොත තෝරා ගන්නේ ය.
8අධික ලෙස කතා කරන්නා පිළිකුල් කරනු ලැබීමට මඟ සලසා ගන්නේ ය. අනිසි ලෙස තමාට ම බලය පවරා ගන්නා අය පිළිකුලට ලක් වන්නේ ය.
9එක මිනිසෙකුට තමාගේ විපතෙහි ඔහුගේ ශුභසිද්ධිය උදා වන්නේ ය. ඇතැම් විට හදිසි ලාභයෙන් හානියක් සිදු වන්නේ ය.
10ඔබට පලක් නැති ත්‍යාගිවන්තකම් ඇත්තේ ය. ඔබට දෙගුණයක් උපදවා දෙන ත්‍යාගිවන්තකම් ද ඇත්තේ ය.
11ඇතැම් විට මහිමය නින්දාවට මඟ පාදන්නේ ය. පහත් තත්ත්වයක සිටින සමහරු හිස ඔසවන්නෝ ය.
12මිනිසෙක් සුළු මුදලකින් බොහෝ දේවල් මිලයට ගන්නේ ය. එහෙත්, ඔහු නියම ප්‍රමාණයට වඩා සත් ගුණයක් ගෙවන්නේ ය.
13නැණවත් මිනිසා කාරුණික වචනවලින් ආදරය දිනාගන්නේ ය. එහෙත්, මෝඩයන්ගේ ත්‍යාගිවන්තකම් නිෂ්ඵල වන්නේ ය.
14අඥානයාගේ තෑග්ගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නැත්තේ ය. ඔහුගේ ඇස් සත් ගුණයක් ආපසු ලැබීමට ආශා කරන හෙයිනි.
15ඔහු ස්වල්පයක් දී බොහෝ සේ ගරහන්නේ ය. ඔහු අඬබෙරකාරයෙකු මෙන් මුඛය අරින්නේ ය. ඔහු අද ණයට දෙන්නේ ය; හෙට නැවත ඉල්ලන්නේ ය. ඔහු නින්දිත කෙනෙකි.
16මට මිත්‍රයෙක් නැත්තේ ය, මාගේ උපකාරවලට කළගුණ සැලකීමක් නැත්තේ ය;
17මාගේ කෑම කන්නෝ නපුරු දිවි ඇත්තෝ ය”යි අඥානයා කියයි. කොපමණ දෙනෙක්, කොපමණ වරක් ඔහුට සරදම් කරන්නෝ ද?
18කට වරදවාගැනීම පය ලිස්සා වැටීමට වඩා අයහපත් ය. දුෂ්ටයෝ මෙලෙස හදිසියෙන් පැටලී වැටෙන්නෝ ය.
19අශික්ෂිත මිනිසා වනාහි මන්ද බුද්ධිකයන් නැවත නැවතත් කියන අශිෂ්ට විහිළුවක් වැනි ය.
20මෝඩයාගේ මුඛයෙන් නික්මෙන උපදේශය නොපිළිගනු ලබන්නේ ය. මන්ද, ඔහු එය යෝග්‍ය අවස්ථාවක නොකියන හෙයිනි.
21දිළිඳුකම නිසා පව් කිරීමෙන් වැලකෙන මිනිසා දෙස බලන්න. ඔහුගේ විවේක කාලයෙහි දී ඔහුගේ හෘදයෙහි දැවිල්ලක් නැත්තේ ය.
22බොරු ලජ්ජාව නිසා විනාශ වන මිනිසා දෙස බලන්න. අඥානයෙකුගේ මතයට ගරු කොට ඔහු තමා විනාශ කරගන්නේ ය.
23බොරු ලජ්ජාව නිසා තම මිතුරාට පොරොන්දු දෙන මිනිසා දෙස බලන්න. මෙසේ හේතුවක් නැතුව ඔහු තමාට සතුරෙකු ඇති කරගන්නේ ය.
24බොරු කීම මිනිසෙකුට මහත් කැළලකි. එය නිතර අඥානයන්ගේ මුවින් නික්මෙන්නේ ය.
25මුල් බැසගත් බොරුකාරයෙකුට වඩා සොරා හොඳ ය; එහෙත්, ඒ දෙදෙනා ම තමන්ගේ විනාශය කරා ගමන් කරන්නෝ ය.
26බොරු කීම පිළිකුල් කටයුතු පුරුද්දකි. බොරුකාරයාගේ අපකීර්තිය නිරතුරු ඔහු සමඟ එන්නේ ය.
27ප්‍රඥාව අනුව කතා කරන්නා සමෘද්ධිමත් වන්නේ ය. ඥානවන්ත මිනිසා උත්තමයන්ට ප්‍රිය වන්නේ ය.
28ගොවිතැන් කරන්නා හොඳ අස්වැන්නක් නෙළා ගන්නේ ය. උත්තමයන්ට ප්‍රිය ව සිටින්නා තමාගේ වැරදිවලට කමාව සලසාගන්නේ ය.
29තෑගි සහ දීමනාවලින් නැණවතුන්ගේ ඇස් අන්ධ කරනු ලබන්නේ ය. මුඛවාඩමක් මෙන් වූ ඒවා දොස් යටපත් කරන්නේ ය.
30සඟවන ලද ප්‍රඥාවත් නොපෙනෙන නිධානයත් යන මේ දෙකින් ඇති ප්‍රයෝජනය කිමෙක් ද?
31තම ප්‍රඥාව සඟවන මිනිසෙකුට වඩා තම මෝඩකම සඟවන මිනිසා හොඳ ය.