1අධිපතියාණෙනි, සියල්ලේ සමිඳුනි, අපට අනුකම්පා කර අප දෙස බැලුව මැනව. සියලු ජාතීන් පිට ඔබ කෙරෙහි බිය පතුරුවා හැරිය මැනව.
2විදේශීය ජාතීන්ට විරුද්ධ ව ඔබේ හස්තය එසෙව්ව මැනව. ඔව්හු ඔබේ බලපරාක්‍රමය දකිත් වා!
3ඔවුන් බලා සිටිය දී ඔබේ ශුද්ධවන්තකම අපට පෙන්නුවාක් මෙන් අප බලා සිටිය දී ඔවුන්ට ඔබේ උත්කෘෂ්ටතාව පෙන්නුව මැනව.
4අප ඔබ දැනගන්න පරිදි ඔව්හු ඔබ දැනගනිත් වා! සමිඳුනි, ඔබ හැර අන් දෙවි කෙනෙකු නැති බව ඔව්හු දැනගනිත් වා!
5ඔබේ ආශ්චර්යයන් නැවතත් සිදු කළ මැනව. නව අරුමපුදුම දේ කළ මැනව. ඔබගේ හස්තය ද දකුණු මහා බාහුව ද මහිමය දිනාගැනීමට සැලැස්සුව මැනව.
6ඔබේ කෝපය පුබුදු කළ මැනව. ඔබේ උදහස වැගුරුව මැනව. විරුද්ධකාරයා විනාශ කළ මැනව. සතුරා නසා වැනසුව මැනව.
7විනිශ්චයේ දිනය කඩිනම් කළ මැනව. ගිවිසුම සිහි කළ මැනව. මනුෂ්‍යයෝ ඔබේ වීර ක්‍රියාවන් වර්ණනා කරත් වා!
8පළිගැනීමේ ගින්නක් පැමිණ නොමැරී ඉතිරි වූවන් වනසාදමා වා! ඔබේ සෙනඟට පීඩා කළ අය විනාශයට කැප කරනු ලබත් වා!
9අප හැර කිසිවෙක් නැත්තා හ”යි ඔවුන් කී බැවින්, විදේශීය අධිපතියන්ගේ හිස් සිඳදැමුව මැනව.
10ජාකොබ්ගේ සියලු ගෝත්‍රයන් රැස් කළ මැනව. ආරම්භයේ දී මෙන් ඔවුන්ට ඔවුන්ගේ උරුමය නැවත දුන මැනව.
11සමිඳුනි, ඔබේ නාමය කියා අඬගැසූ සෙනඟට දයා වුව මැනව. ඔබේ කුලුඳුලා මෙන් ගත් ඉශ්රායෙල්වරුන්ට කරුණා කළ මැනව.
12ඔබේ ශුද්ධ නගරයට අනුකම්පා කළ මැනව. ඔබේ විවේක ස්ථානය වන ජෙරුසලමට අනුකම්පා කළ මැනව.
13සියොන් කන්ද ඔබේ ප්‍රශංසා ගීතයෙන් පිරෙව්ව මැනව. ඔබේ ශුද්ධස්ථානය ඔබගේ මහිමයෙන් සපුරාලුව මැනව.
14ඔබ විසින් පළමුවෙන් මවන ලද්දන් හට සාක්ෂි දුන මැනව. ඔබේ නාමයෙන් කියන ලද දිවැස් වැකි සම්පූර්ණ කළ මැනව.
15ඔබ කෙරෙහි බලාපොරොත්තු වන්නන් හට විපාක දුන මැනව. ඔබේ දිවැසිවරයන්ගේ සත්‍යවාදි බව ඔප්පු කරනු ලැබේ වා!
16සමිඳුනි, ඔබේ සෙනඟ පිට ආරොන්ගේ ආශීර්වාදය වැටෙන ලෙස ඔබේ මෙහෙකරුවන්ගේ යාච්ඤාව අසා වදාළ මැනව.
17ඔබ සදාකාල දෙවි ස්වාමීන් වහන්සේ බව පොළොව පිට වාසය කරන සියල්ලෝ දැනගනිත් වා!
18සියලු ආහාර ආමාශයට ඇතුළු වන්නේ ය. එහෙත් ඇතැම් ආහාර අනෙක් ඒවාට වඩා හොඳ ය.
19ඒ ඒ දඩමස්වල රසයෙන් තල්ල ඒවා දැනගනියි. එසේ ම සිහි නුවණ ඇති මිනිසා බොරු වචන වටහාගනියි.
20දුෂ්ට මිනිසා ශෝකය ඇති කරයි. එහෙත්, පළපුරුදුකම් ඇති මිනිසා එයට පිළිතුරු දෙන්නට දනියි.
21ස්ත්‍රියක් ඕනෑ ම පුරුෂයෙකු පිළිගන්නී ය. එහෙත්, ඇතැම් තරුණියෝ අනෙක් තරුණියන්ට වඩා යහපත් වන්නාහ.
22ස්ත්‍රියකගේ ශෝභාව එය දකින්නන් සතුටු කරවන්නේ ය. මිනිසාගේ සියලු ආශාවලට වඩා එය බලවත් වන්නේ ය.
23ඇගේ දිව කරුණාවන්ත හා ගුණවත් වන්නේ නම්, ඇගේ පුරුෂයා මනුෂ්‍යයන් අතර ඉතා වාසනාවන්ත වන්නේ ය.
24භාර්යාවක පාවා ගන්නාට වාසනාව උදා වන්නේ ය. ඈ ඔහුට සමාන සහකාරියකි. හේත්තු වීමට රුකුලකි.
25වැටක් නැති ඉඩම කොල්ලකනු ලබන්නේ ය. භාර්යාවක නැති මිනිසා සුසුම්ලමින් ඒ මේ අත යන්නේ ය.
26නුවරින් නුවරට ඉක්මනින් එහා මෙහා යන අවි ආයුධ ගෙන යන්නෙකු විශ්වාස කළ හැක්කේ කාට ද?
27නිවසක් නැති මිනිසා ද එසේ ම ය. රාත්‍රිය පැමිණි විට තමා සිටි තැන ම ඔහු නවාතැන් ගන්නේ ය.