උපදේශකයා හෙවත් සිරාක් 9

පෙර මීළඟ
1ඔබ ප්‍රේම කරන බිරිඳට ඊර්ෂ්‍යා නොකරන්න. ඔබේ හානියට තුඩු දෙන නපුර ඇයට කියා නොදෙන්න. 2ඔබේ සිත ස්ත්‍රියකට පාවා නොදෙන්න; එසේ කළොත්, ඈ ඔබ කෙරේ බල පවත්වනු ඇත. 3වේශ්‍යා ස්ත්‍රියක ළඟට නොයන්න. ඔබ ඇගේ මලපත්වල අසුවන්නෙහි ය. 4ගායිකාවක සමඟ නිතර නොගැවසෙන්න. ඔබ ඇගේ මායාවට අසුවන්නෙහි ය. 5කන්‍යාවක දෙස ඔබේ ඇස් යොමු නොකරන්න. ඇය සමඟ ඔබ ද දඬුවම් කරනු ලබන්නෙහි ය. 6ඔබ වේශ්‍යාවන්ගේ අත්වලට අසු නොවන්න; ඔබ තම උරුමය නැති කරගන්නෙහි ය. 7නුවර වීථිවල යන විට වටපිට නොබලන්න. පාළු අහුමුලුවල තැනින් තැන නොඇවිදින්න. 8හුරුබුහුටි ස්ත්‍රියකගෙන් ඔබේ නෙත් ඉවතට හරවාගන්න. අනෙකෙකුට අයිති රූපශ්‍රීය දෙස ඔබේ නෙත් යොමු නොකරන්න. ස්ත්‍රියකගේ රූසපුවෙන් බොහෝ දෙනෙකු නොමඟ ගොස් ඇත. එයින් ගින්නක් මෙන් රාගය දල්වනු ලබන්නේ ය. 9විවාහක ස්ත්‍රියක ළඟ වාඩි නොවන්න. මිදිරස බොමින් ඈ සමඟ එකට වාඩි නොවන්න. ඔබේ හදවත ඇගේ සිරියාවට වසඟ විය හැකි ය. කාමාශාවෙන් ඔබ විනාශය කරා ලිස්සා යත හැකි ය. 10පරණ මිත්‍රයෙකු අත් නොහරින්න. අලුත් මිතුරා කිසිසේත් ඔහුට සම නොවන්නේ ය. නව මිතුරා නව මිදිරස මෙන් ය. එය පරණ වූ විට ඔබ එය මහත් ආශාවෙන් පානය කරන්නෙහි ය. 11පව්කාරයාගේ සමෘද්ධියට ඊර්ෂ්‍යා නොකරන්න. එය කෙසේ අවසන් වන්නේ දැ යි ඔබ නොදන්නෙහි ය. 12දුදනන් සතුටු වන දේ ගැන සතුටු නොවන්න. ඔවුන් දඬුවම් නොලැබ මිනීවළට නොයන බව සිහි කරන්න. 13මරන්නට ශක්තිය ඇති තැනැත්තාගෙන් ඈත් ව සිටින්න. එවිට ඔබ මරණ බියෙන් බිය නොවන්නෙහි ය. ඔබ ඔහු ළඟට යන්නෙහි නම්, ප්‍රවේසමෙන් යන්න. නැතහොත් ඔහු ඔබේ ප්‍රාණය නසන්නට පිළිවන. ඔබ වැටෙන සුලු මඟක යන බව සිහි කරන්න; නුවර බලකොටු මත ඇවිදින බව සිහි කරන්න. 14ඔබට හැකි පමණින් අසල්වැසියන් ඇසුරු කරන්න. පැණවතුන්ගෙන් උපදෙස් ගන්න. 15ඔබේ සුහද ඇසුර සඳහා නැණවතුන් සොයාගන්න. ඔබේ සියලු සාකච්ඡා මහො‍්ත්තමයාණන් වහන්සේගේ නීතියට අදාළ වේ වා! 16ඔබ සමඟ ආහාර අනුභව කරන්නො‍් දැහැමියෝ වෙත් වා! ඔබේ අභිමානය සමිඳුන්ට ගරුබිය පෑමෙහි වේ වා! 17දක්ෂ අතින් නිමැවුණු කෘතිය ප්‍රශංසාවට පාත්‍ර වන්නේ ය. ජනයාගේ නායකයා කතාවෙහි දක්ෂයෙකු විය යුත්තේ ය. 18වාචාලයා නුවරෙහි බිය උපදවන්නේ ය. නන් දොඩන්නා පිළිකුල් කරනු ලබන්නේ ය.