උපදේශකයා හෙවත් සිරාක් 41

පෙර මීළඟ
1තම දේපළ මැද සැපතින් ජීවත් වන මනුෂ්‍යයා හට ද කරදර නැති ව හැම දෙයින් සඵල වූ කෑමෙන් සතුටු වන්නට හැකි වූ මනුෂ්‍යයා හට ද අහො‍්! මරණය, ඔබ ගැන සිතීම කොපමණ කණගාටුදායක ද? 2අගහිඟ ඇති, ගතින් දුබල මිනිසා හට ද, වයස්ගත, කනස්සල්ලෙන් කැළඹුණු මිනිසා හට ද මහත් සේ කලකිරුණු, තවත් ඉවසිය නොහැකි මිනිසා හට ද, අහො‍්! මරණය, ඔබේ තීන්දුව කොපමණ ප්‍රිය ද? 3මරණයේ තීන්දුවට බිය නොවන්න. ඔබට පෙර ගිය අය ද ඔබට පසු ව යන අය ද සිහි කරන්න. 4සියලු ජීවමාන සත්ත්වයන් පිට සමිඳුන් පැනවූ නීතිය මෙය වේ. එහෙයින්, මහො‍්ත්තමයාණන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ ව යන්නේ කුමට ද? ඔබේ ජීවිත කාලය දස අවුරුද්දක් හො‍් සිය අවුරුද්දක් හො‍් දහස් අවුරුද්දක් හො‍් වුව ද එය ගැන පාතාල ලෝකයෙහි ඔබට දොස් නඟන කෙනෙක් නැත. 5පවිටු වූවන්ගේ පුත්‍රයෝ කමකට නැති දුෂ්ටයෝ ය. ඔව්හු අභක්තිකයන්ගේ ගෘහයෙහි නිතර ගැවසෙන්නෝ ය. 6පවිටුන්ගේ දරු උරුමය විනාශය කරා යන්නේ ය. ඔවුන්ගේ පරපුර නිරතුරු ම දෝෂාරො‍්පණයට භාජන වන්නේ ය. 7අභක්තික පියා තම දරුවන් විසින් නිගා කරනු ලබන්නේ ය. මන්ද, ඔවුන්ගේ අගෞරවයට හේතුව ඔහු වන හෙයිනි. 8අභක්තිකයෙනි, ඔබට දුර්විපාකයක් හිමි වේ. ඔබ මහො‍්ත්තම දෙවියන් වහන්සේගේ නීතිය අත්හැර ගියහු ය. 9ඔබ උපන් විට ඔබ උපන්නේ සාපයට කැප වන්නට පමණකි. ඔබේ මරණයෙහි දී ඒ සාපය ඔබ පිට වන්නේ ය. 10පොළොවෙන් එන හැම දේ පොළොවට ආපසු හැරී යන්නේ ය. මෙසේ අභක්තිකයෝ ද සාපයෙන් විනාශය කරා යන්නෝ ය. 11මනුෂ්‍යයන් වැලපෙන්නේ මියගිය අය සම්බන්ධයෙන් ය. එහෙත්, පව්කාරයන්ගේ නොවටිනා නාමය මකාදමනු ලබන්නේ ය. 12ඔබේ හොඳ නම ගැන පරිස්සම් වන්න. එය ඔබට ඉතුරු වන්නේ ය. එය රන්මය වස්තු දහසකට වඩා අගනේ ය. 13සැපවත් ජීවිතය දවස් ගණනක් පවතින්නේ ය. එහෙත්, ගෞරව සහිත නාමය සදහට ම වැජඹෙන්නේ ය. 14මාගේ දරුවෙනි, මාගේ ඉගැන්වීම ආරක්ෂා කරගෙන සාමදානයෙන් සිටින්න. සැඟවුණු ප්‍රඥාවෙන් ද නොපෙනෙන නිධානයෙන් ද යන මේ දෙකින් ඇති ඵල කිම? 15තම ප්‍රඥාව සඟවන මිනිසෙකුට වඩා තම මො‍්ඩකම සඟවන මිනිසා වටනේ ය. 16ලජ්ජා විය යුතු තැන් ඇත. ඒවා ගැන මා කියන දේට සවන් දෙන්න. සියලු ආකාර ලජ්ජාවන් සිතෙහි දරාගැනීම හරි නැත. හැම දේ හැම දෙනා විසින් නිවැරදි ව තේරුම්ගනු නොලැබේ. 17පියා හො‍් මව හො‍් ඉදිරියෙහි අනාචාරයෙහි හැසිරෙන්නට ද අධිපතියෙකු හො‍් බලවතෙකු හො‍් ඉදිරියෙහි බොරු කියන්නට ද 18විනිශ්චයකාරයෙකු හො‍් රජයේ නිලධාරියෙකු හො‍් ඉදිරියෙහි අයුතුකමක් කරන්නට ද සෙනඟගේ සභාව ඉදිරියෙහි අභක්තික ක්‍රියාවක් කරන්නට ද ඔබ ලජ්ජා විය යුතු ය. 19සහායකයෙකුට හා මිත්‍රයෙකුට විරුද්ධ ව කෙරෙන ද්‍රෝහිකම් ගැන ද ඔබ වාසය කරන ගමේ කෙරෙන සොරකම් ගැන ද 20දෙවියන් වහන්සේගේ සත්‍යතාව හා ගිවිසුම ඉදිරියෙහිත් කෑම මේසයෙහිදීත් අවිනීත ව හැසිරීම ගැන ද ඔබ ලජ්ජා විය යුතු ය. 21තෑගි දීමේ දී හො‍් ලැබීමේ දී ඒවා හෙළා දැකීමට ද ඔබට ආචාර කරන අයට ප්‍රති ආචාර නොදැක්වීමෙන් ද 22වේශ්‍යාවක වෙත බැල්ම යෙදීමට ද නෑයෙකු තුච්ඡ ලෙස සැලකීමට ද 23අනෙකෙකුගේ කොටස හො‍් ඔහු ලැබූ තෑග්ග හො‍් අයුතු ලෙස අත්කරගැනීමට ද, අන් කෙනෙකුගේ භාර්යාවට ආලය දැක්වීමට ද ඔබ ලජ්ජා විය යුතු ය. 24මෙහෙකාරියකට අයුතු හාදකම් දැක්වීමට ද ඇගේ ඇඳ ළඟට යාමට ද ඔබ ලජ්ජා විය යුතු ය. 25ඔබේ මිතුරන් ඉදිරියෙහි හිත රිදවන වචන නොකියන්න. තෑග්ගක් දුන් පසු ඇනුම් පදයක් නොකියන්න. 26දූසමාන ආරංචි නැවත කියන්නට හො‍් විස්තර කරන්නට ද රහස් එළිදරව් කරන්නට ද ලජ්ජා වන්න. 27එවිට ඔබ නියම ලජ්ජාව කුමක් දැ යි දැනගන්නෙහි ය. ඔබ සියල්ලන්ගේ ආදර ගෞරවයට ලක් වන්නෙහි ය.