උපදේශකයා හෙවත් සිරාක් 27

පෙර මීළඟ
1ලාභ ප්‍රයෝජනයට ආශාවෙන් බොහෝ දෙනෙක් පව් කළො‍් ය. ධනවත් වන්නට ආශා කරන්නා අනුකම්පා රහිත බවක් ප්‍රකාශ කරන්නේ ය. 2ගල් දෙකක් සන්ධි වන තැන ඇබය බසින්නේ ය. මිලේට ගැනීම හා විකිණීම අතරට පාපයක් ඇතුළු වන්නේ ය. 3මිනිසෙක් සමිඳුන්ට ගරුබිය පෑමෙහි ස්ථිර ලෙස නොසිටින්නේ නම්, ඔහුගේ වංශය වැඩි කල් යනු පෙර විනාශ කරනු ලබන්නේ ය. 4පිටි හලන පෙණේරයෙහි රොඩු ඉතුරු වන්නේ ය. එසේ ම, මනුෂ්‍යයෙකුගේ අඩුලුහුඬුකම් ඔහුගේ කතාවෙන් හෙළි වන්නේ ය. 5කුඹලාගේ භාජන පෝරණුවෙහි පරීක්ෂා කර බලනු ලැබේ. මිනිසෙකු පරීක්ෂා කරනු ලබන්නේ ඔහුගේ කතාවෙනි. 6ගස වැවෙන පලතුරු වත්තේ තත්ත්වය එහි ගෙඩිවලින් දැනගත හැකි ය. එසේ ම, මනුෂ්‍යයෙකුගේ කතාවෙන් ඔහුගේ හැඟීම් දැනගත හැකි ය. 7කතා කරන්නට පෙර කිසිවෙකුට ප්‍රශංසා නොකරන්න. ඔවුන්ගේ උරගල ඇත්තේ එහි ය. 8ඔබ දැහැමිකම අනුව යන්නෙහි නම් එය ලබාගන්නෙහි ය. ඔබ එය අලංකාර වස්ත්‍රයක් මෙන් පැළඳගන්නෙහි ය. 9කුරුල්ලෝ තමන්ට සමාන කුරුල්ලන් සොයා යති. එසේ ම, දැහැමිකම එය අනුව යන්නන් වෙත ළඟා වන්නේ ය. 10සිංහයා තම ගොදුර අල්ලාගැනීමට සැඟවී සිටින්නේ ය. පාපය ද වැරදි කරන්නන් පිට පැනීමට සැඟවී සිටින්නේ ය. 11භක්තිමත් මිනිසාගේ කතාව නිතර ප්‍රඥාව ය. එහෙත් අඥානයා චන්ද්‍රයා මෙන් වෙනස්වන සුලු ය. 12ඔබ සිටින්නේ අඥානයන් සමඟ නම්, ඉවත් ව යන්නට ඉක්මන් වන්න, එහෙත්, කල්පනාකාරී මිනිසුන් සමඟ නම්, නොබිය ව සිටින්න. 13මො‍්ඩයාගේ කතාව පිළිකුලකි. පවිටු උත්සවයන්හි දී ඔවුන්ගේ සිනහව රළු ය. 14දිවිරීමට පුරුදු මිනිසාගේ කතාව රො‍්ම කෙළින් කරවන්නේ ය. ඔවුන්ගේ කලහය අසන අය තමන්ගේ කන් වසාගන්නෝ ය. 15අහංකාරිකයන්ගේ ආරාවුලින් ලේ වැගිරීම සිදු වන්නේ ය. ඔවුන්ගේ ගැරහීම ඇසීම වේදනා සහිත ය. 16රහස් එළිදරව් කරන්නා සැලකිල්ල අහිමි කරගන්නේ ය. ඉන්පසු ඔබට හිතකර මිතුරෙක් සම්බ නොවන්නේ ය. 17ඔබේ මිතුරාට හිතවත් වන්න, විශ්වාසී වන්න. එහෙත්, ඔබ ඔහුගේ රහස් එළිදරව් කෙළෙහි නම්, ඔහු පස්සේ නොයන්න. 18මන්ද, සතුරෙකු මරන්නාක් මෙන් ඔබ ඔබේ අසල්වැසියාගේ මිතුරුකම නැසූ හෙයිනි. 19අත දිග හැර කුරුල්ලෙකුට මිදී යන්නට හරින්නාක් මෙන් ඔබේ මිතුරා යන්නට හැරියෙහි ය; නැවත අල්ලන්නට ඔබට බැරි ය. 20ඔහු පස්සේ නොයන්න, ඔහු ඈත දුර ය, උගුලෙන් බේරුණු මුව දෙන මෙන් ඔහු පලා ගොස් ඇත. 21තුවාළයක් පටියකින් වෙළිය හැකි ය; අපහාසයකට කමා කළ හැකි ය. එහෙත්, රහසක් එළිදරව් කළ තැනැත්තාට බලාපොරොත්තුවක් නැත. 22හොරට නෙත් කොණින් බලන්නා කූටෝපායයක් යොදන්නේ ය; එය නොකිරීමට ඔහු කැමැති කරවාගන්නට කිසිවෙකුට බැරි ය. 23ඔබ ඉදිරියේ ඔහුගේ කතාව මී පැණි මෙන් මිහිරි ය. ඔබේ වචන ගැන ඔහු කුල්මත් වෙයි. එහෙත්, ඔබට පිටුපසින් ඔහු වෙන දෙයක් කියයි. ඔබේ වචන හානිකර බව ඔහු පතුරුවා හරියි. 24මම බොහෝ දේවල් පිළිකුල් කරමි. එහෙත්, මේ මිනිසාට සමාන කිසිවක් නැත්තේ ය. සමිඳාණෝ ද ඔහු පිළිකුල් කරන සේක. 25ඉහළට ගලක් විසි කරන්නා එය තමාගේ හිසට විසි කරන්නේ ය. ද්‍රෝහි පහරක් ගසන්නා එහි ප්‍රතිප්‍රහාරය විඳින්නේ ය. 26වළක් හාරන්නා එය තුළට වැටෙන්නේ ය. මලපතක් අටවන්නා එයට අසු වන්නේ ය. 27යමෙකු නපුරක් කළොත්, නපුර ඔහු පිට වැටෙන්නේ ය. එය කොහෙන් ආවේ දැ යි ඔහු නොදන්නේ ය. 28ඇනුම්පද සහ අපහාසය අහංකාරිකයෙකුගේ ලකුණු ය. එහෙත්, දරුණු විපාකය සිංහයෙකු මෙන් ඔහු දෙස බලා සිටින්නේ ය. 29බැතිමතුන්ගේ වැටීම ගැන ප්‍රීති වන්නෝ මලපතට අසු වන්නෝ ය. ඔවුන් මැරෙන්නට පෙර වේදනාව ඔවුන් කාදමන්නේ ය. 30බද්ධ වෛරය සහ කෝපය පිළිකුල් දේවල් ය. ඒවා පව්කාර මනුෂ්‍යයා තුළ දක්නට ලැබෙන්නේ ය.