1අලසයා අසූචි තැවරුණු ගලක් වැනි ය. හැම දෙනා ම ඔහු අපහාසයට ලක් කරන්නෝ ය.
2අලසයා කසළ ගොඩක් වැනි ය; එය ස්පර්ශ කරන්නා අත ගසාදමන්නේ ය.
3නරක ලෙස ඇතිදැඩි වුණු පුත්‍රයෙකුගේ පියා වීම මහත් නින්දාවකි. එබඳු දුවක ලැබීම ඔහුට අලාභයක් වන්නේ ය.
4නැණවත් දුව ඇගේ පුරුෂයාට නිධානයකි. එහෙත්, වැදගැම්මකට නැති දුව තම පියාගේ දුකට හේතුවකි.
5විළිබිය නැති දුව තම පියාට සහ මවට ලජ්ජාවකි; ඈ ඔවුන් දෙදෙනා විසින් ම අහිමි කරනු ලබන්නී ය.
6තැනට නොහොබිනා අවවාදය අවමඟුලෙහි දී ඇති සංගීතය මෙනි. තරවටුව හා දඬුවම සැම කල්හි ම ප්‍රඥාව වන්නේ ය.
7අඩුපාඩු නැති ව, යහපත් ජීවිතයක් ගත කරන ළමෝ මාපියන්ගේ දුගී ආරම්භය අමතක කිරීමට සලස්වති. එහෙත්,
8අනාදර, අවිනීත, අහංකාර ළමෝ පවුලේ උදාරත්වයට අපකීර්තියකි.
9මෝඩයෙකුට ඉගැන්වීම බිඳුණ බඳුනක කැබලිති එකට ඇලවීම වැනි ය; නින්දෙන් මත් වූ මිනිසෙකු පිබිදවීම වැනි ය.
10මෝඩයෙකුට යමක් විස්තර කිරීම නිදිබර මිනිසෙකුට එසේ කිරීම වැනි ය; ඔහු අන්තිමයේ දී ”කුමක් කීවේ දැ”යි අසන්නේ ය.
11මළ මිනිසා උදෙසා වැලපෙන්න; ඔහුට ආලෝකය නැත්තේ ය. මෝඩයා උදෙසා වැලපෙන්න; ඔහුට බුද්ධිය නැත්තේ ය. මළ මිනිසා උදෙසා වඩා ශාන්ත ලෙස අඬන්න; ඔහුට සැනසීම සම්බ වූයේ ය. අඥානයාට මරණයට වඩා ජීවිතය කණගාටුදායක ය.
12මළ මිනිසා උදෙසා වැලපීම සත් දවසක් පවත්නේ ය. අඥානයා සහ දුෂ්ටයා උදෙසා වැලපීම මුළු ජීවිතය තුළ ම පවතින්නේ ය.
13අඥානයා සමඟ දීර්ඝ කතාවෙහි නොයෙදෙන්න; මෝඩයා ළඟට නොයන්න; ඔබ කරදරයෙහි නොවැටෙන පිණිස ඔහුගෙන් පරිස්සම් වන්න. ඔහුගේ ඇසුරෙන් ඔබ කිළුටු වන්නෙහි ය; ඔහුගෙන් වැළකෙන්න; ඔබට ශාන්තිය අත් වන්නේ ය. ඔහුගේ වැල්වටාරම් කතාවලින් ඔබ නොවෙහෙසෙන්නෙහි ය.
14ඊයමට වඩා බර යමක් ඇත්තේ ද? එය කිමෙක් ද? මෝඩයා නොවේ ද?
15වැලි, ලුණු සහ යකඩ ගුලිවල බර දැරීම මෝඩයෙකුගේ බර දැරීමට වඩා පහසු ය.
16ගොඩනැඟිල්ලක ඇතුළතින් එක් කොට තැන්පත් කරන මුදුන් ලීය භූමිකම්පාවකින් නොකැඩේ. පරිණත බුද්ධියෙන් ස්ථිර වූ සිත අවදානම් මොහොතෙහි දී බියෙන් නොපැකිළෙන්නේ ය.
17නැණවත් උවදෙසින් හැඩගැසුණු සිත සුමුදු බිත්තියක සිතුවම් කළ දෙයක් වැන්න.
18බිත්තියක් උඩ තබන කුඩා බොරළු කැට සුළඟට ගසාගෙන යන්නේ ය. තම කල්පනාවලින් බියට පත් වන මෝඩයාගේ සිත එම බියට යටත් නොවී සිටින්නට පොහොසත් වන්නේ ය.
19නෙත රිදෙව්වොත් කඳුළු ගලන්නට සලසනු ලැබේ. සිත රිදෙව්වොත් එහි ඇතුළත් හැඟීම් අනාවරණය කරනු ලැබේ.
20කුරුල්ලකුට ගල් ගසන්නා ඌ පලවා හරින්නේ ය. තම මිතුරාට අපහාස කරන්නා මිතුරුකම නසන්නේ ය.
21ඔබේ මිතුරාට විරුද්ධ ව කඩුව ඇද්දෙහි නම්, බලාපොරොත්තු නැති කර නොගන්න. මිතු දමේ මඟක් යළි එනු ඇත.
22ඔබේ මිතුරාට විරුද්ධ ව ඔබ කට ඇරියෙහි නම් බිය නොවන්න; නැවත සමඟි වීමට ඉඩ තිබේ. එහෙත්, අපහාස කිරීම, අහංකාරය, රහස් එළිදරව් කිරීම, රහසින් පීඩා කිරීම, යන මේ කාරණාවල දී ඔබේ මිතුරා පලා යන්නේ ය.
23ඔබේ අසල්වැසියා දුප්පත් ව සිටින විට ඔහුගේ විශ්වාසය දිනාගන්න. එවිට ඔහුගේ සමෘද්ධිමත් කාලයෙහි දී ඔබ ඔහු සමඟ ඔහුගේ භාග්‍යය භුක්ති විඳින්නෙහි ය. ඔහුගේ විපත්ති කාලයෙහි දී ඔහුට විශ්වාස ව සිටින්න. ඔහුට උරුමයක් ලැබුණොත් ඔබ එයින් කොටසක් ලබාගන්නෙහි ය.
24ගිනි දැල්ලට පෙර උදුනේ හා දුමේ වාෂ්පය දක්නට ලැබෙන්නේ ය. ලේ වැගිරීමට පෙර අපහාසය ද වන්නේ ය.
25මිතුරෙකු ආරක්ෂා කිරීමට මම ලජ්ජා නොවන්නෙමි. මම ඔහුගෙන් නොසැඟවෙන්නෙමි.
26ඔහු නිසා මට නපුරක් සිදුවුවහොත් එය දැනගන්න සියලු දෙනා ම ඔහුගෙන් පරිස්සම් වන්නෝ ය.
27විනාශයෙන් මා බේරෙන පිණිස ද, මාගේ දිව මා විනාශ නොකරන පිණිස ද, මාගේ මුඛය පිට රැකවල් තබන්නේ කවරෙක් ද? මාගේ තොල් පිට ප්‍රඥාවන්තකම ලියලවන්නේ කවරෙක් ද?