කියවීම්
2026 දෙසැම්බර් 2
Wednesday of the First Week of Advent
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 25:6-10
6සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක.
7මෙහි දී උන් වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නමැති වලාකුළ පහකරන සේක.
8මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහට ම විනාශ කරදමන සේක. සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ම ය.
9එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. ”බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු”
10සමිඳාණන් වහන්සේ සියොන් කන්ද ආරක්ෂා කරන සේක. එහෙත්, මෝවබ් සෙනඟ කසළ ගොඩේ පිදුරු මෙන් මඩිනු ලබන්නෝ ය.
Responsorial Psalm
ගීතාවලිය 23:1-3, 3-4, 5, 6
1සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය.
2එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
3මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
4මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
5ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය.
6ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.
Alleluia
:-
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 15:29-37
29ජේසුස් වහන්සේ එතැනින් නික්ම, ගලීලයේ මුහුද ළඟට ගොස්, කන්දකට නැඟී වැඩහුන් සේක.
30මහත් ජනකායක්, කොරුන් ද අබ්බාගාතයන් ද අන්ධයන් ද ගොළුවන් හා වෙනත් බොහෝ දෙනෙකුන් ද රැගෙන, ජේසුස් වහන්සේ වෙත අවුත් ඔවුන් උන් වහන්සේගේ පාමුල තැබූ හ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.
31එවිට ගොළුවන් කතා කරන බව ද, අබ්බාගාතයන් සුවපත් වී ඉන්න බව ද, කොරුන් ඇවිදින බව ද, අන්ධයන්ට ඇස් පෙනෙන බව ද දුටු ජනකාය පුදුම වී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
32ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, ”මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය; ඔව්හු දැන් තුන් දවසක් ම මා සමඟ ය; ඔවුන්ට කෑමක් නැත; ඔවුන් බඩගින්නේ පිටත් කර යවන්න අකමැත්තෙමි; එසේ යැව්වොත්, මඟ දී ඔවුන් ක්ලාන්ත විය හැකි යැ”යි වදාළ සේක.
33ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, ”මෙතරම් මහත් සමූහයකට සෑහෙන තරම් කන්න දීමට මේ පාළුකරයෙහි අපට කෑම කොයින් දැ”යි ඇසූ හ.
34ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි ඇසූ සේක. ”රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත් ය”යි ඔව්හු කී හ.
35උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී,
36රොටි සත ද මසුන් ද ගෙන තුති පුදා, කඩා, ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ඒවා සමූහයාට දුන්හ.
37හැම දෙන ම කා සෑහීමට පැමිණියහ. ඔව්හු ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවා ගත්හ.