කියවීම්
2026 දෙසැම්බර් 25
The Nativity of the Lord (Christmas)Mass during the Day (Mass During the Day)
Mass During the Day
Reading I
යෙසායා 52:7-10
7සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, ”නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?
8නගරය මුර කරන්නන්, හඬ නඟා එක් ව ගී කියනු ඇත. සියොනට සමිඳාණන් වඩින බව ඔවුන් සියැසින් දකිනු ඇත.
9ජෙරුසලමේ නටබුන්, එක් ව ගී ගයන්න; ඝෝෂා කරමින් හඬ නඟන්න. සමිඳාණෝ සිය සෙනඟ සැනසූ සේක.
10සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.
Responsorial Psalm
ගීතාවලිය 98:1, 2-3, 3-4, 5-6.
1සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
5වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න; වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න.
6හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.
Reading II
හෙබ්‍රෙව් 1:1-6
1දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක.
2එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක.
3උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
4මෙසේ දේව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයාණන් වහන්සේට උරුම වූ බැවින් උන් වහන්සේ ඔවුන්ට වඩා බොහෝ සේ උතුම් වන සේක.
5මන්ද: ”ඔබ මාගේ පුත්‍රයා ය; මම අද ඔබ ජනිත කෙළෙමි”යි කියාත්, ”මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය” කියාත්, උන් වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළ සේක.
6උන් වහන්සේ තමන්ගේ කුලුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල: ‘දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේට නමස්කාර කරත්වා”යි වදාරන සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 1:1-18
1ආරම්භයේ දී, ධර්මයාණෝ a සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක.
2ආරම්භයේ දී උන් වහන්සේ, දෙවියන් වහන්සේ සමඟ සිටි සේක.
3සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී; උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය.
4උන් වහන්සේ තුළ ජීවය විය; ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.
5ආලෝකය අන්ධකාරයෙහි බබළයි; අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය.
6දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය.
7ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි.
8ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය.
9සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.
10උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක; ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය. එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.
11උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.
12එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක.
13එසේ උපත ලැබූයේ, මානව සන්තතියෙන් වත්, කායික සබඳතාවෙන් වත්, මිනිස් පියෙකුගෙන් වත් නොව, දෙවියන් වහන්සේගෙන් ම ය.
14ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
15ජොහන් උන් වහන්සේ ගැන සාක්ෂි දෙමින්, ”මට පසුව එන තැනැන් වහන්සේ මට පෙර වූ බැවින්, මට වඩා උතුම් ය යි මා කීවේ මුන් වහන්සේ ගැන ය”යි මොරගසා කී ය.
16උන් වහන්සේගේ පූර්ණතාවෙන් අපි සියල්ලෝ ම වරප්‍රසාද පිට වරප්‍රසාද ලැබීමු.
17කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.
18කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ ළයෙහි වැඩවසන, උන් වහන්සේගේ එක ම පුත්‍රයාණෝ ම උන් වහන්සේ ප්‍රකාශ කර වදාළ සේක.
Mass at Dawn
Reading I
යෙසායා 62:11-12
11සමිඳුන් පොළොවේ සීමා දක්වා මෙසේ ප්‍රකාශ කර ඇත: ”අන්න, නුඹේ ගැළවුම්කාරයාණෝ, එතුමාණෝ විපාක දෙන සේක. දිනාගත් දීමනාව ගෙනෙන සේකැ යි ජෙරුසලම් වැසියන්ට ප්‍රකාශ කරන්න.”
12ඔව්හු ‘ශුද්ධ සෙනඟ’ කියාත්, ‘සමිඳුන්ගේ මුදාගත් ජනතාව’ කියාත් කියනු ලබන්නෝ ය. ‘දෙවිඳුන්ගේ තෝරාගත් නගරය’ කියාත් කියනු ලබන්නේ ය.
Responsorial Psalm
ගීතාවලිය 97:1, 6, 11-12.
1සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා! දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා!
6දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය; සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය.
11දැහැමියන් මත එළිය බබළයි; යහපත් අය මත සතුට දිළිසෙයි.
12සැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා! එතුමන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමන්ට ප්‍රශංසා කරත් වා!
Reading II
තීතස් 3:4-7
4එහෙත් අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රකාශ වූ කල,
5අප විසින් ම කළ දැහැමි ක්‍රියාවලින් නොව, හුදෙක් ස්වකීය දයාව ලෙස, පුනරුත්පාදනය නමැති ධෝවනයෙන් ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන් ද උන් වහන්සේ අප ගැළෙව් සේක.
6උන් වහන්සේගේ වරප්‍රසාදයෙන් අප දමිටු කරනු ලැබ, සදාතන ජීවනයේ බලාපොරොත්තුවට උරුමක්කාරයන් වන පිණිස,
7උන් වහන්සේ අප ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මයාණන් අධික ලෙස අප පිට වැගිරෙව් සේක.
Alleluia
ශුද්ධ වූ ලූක් 2:14
14අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.
Gospel
ශුද්ධ වූ ලූක් 2:15-20
15තවද, දේව දූතයන් ඔවුන් කෙරෙන් සගලොවට ගිය කල, එඬේරු, ”අපි වහාම බෙත්ලෙහෙමට ගොස් සමිඳාණන් වහන්සේ අපට දන්වා වදාළ මේ සිද්ධිය බලමු”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.
16ඔව්හු යුහුව ගොස් මරිය තුමී ද ජෝසෙප් ද ගව ඔරුවක සතප්වා උන් බිළිඳා ද දුටුවෝ ය.
17ඔව්හු ඒ දැක මේ දරුවා ගැන තමන්ට දන්වන ලද දේ පළ කළහ.
18ඒ ඇසූ සියල්ලෝ, එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූ හ.
19එහෙත්, මරිය තුමී එකී සියල්ල සිත්හි නිදන් කොට ඒවා මෙනෙහි කළා ය.
20එඬේරු ද තමන්ට දන්වන ලද ලෙස ම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන් වහන්සේට ගෞරව කරමින් ද ප්‍රශංසා කරමින් ද පෙරළා ගියහ.
Mass at Midnight
Reading I
යෙසායා 9:1-6
1එක් කාලයක දී සාබුලොන් රට ද නප්තලී රට ද අපකීර්තියට පත් වූ නමුත්, අනාගතයේ දී, මධ්‍යධරණි මුහුදේ සිට නැගෙනහිර දෙසට ජොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි පළාතට එනම්, විදේශීන් වාසය කරන ගලීලය දේශයට ගෞරව පැමිණෙන්නේ ය.
2අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය.
3ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.
4මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය.
5ආක්‍රමණය කරන හමුදාවේ පාවහන් ද ලෙයින් තැවරුණු ඔවුන්ගේ ඇඳුම් සියල්ල ද ගින්නෙන් දවාලනු ලැබේ.
6අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.
Responsorial Psalm
ගීතාවලිය 96:1-2, 2-3, 11-12, 13.
1සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.
2සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.
3විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.
11සගලොව ප්‍රීති ප්‍රමෝද වේ වා! නරලොව තුටු පහටු වේ වා! සමුදුරත් එහි ඇති සියල්ලත් ගිගුරුම් දේ වා!
12කෙත්වතු සහ එහි ඇති සියල්ලත් ප්‍රීතිමත් වේ වා! එවිට වන රොදෙහි ගස්කොළන් ප්‍රීති නාද දෙන්නේ ය.
13සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”
Reading II
තීතස් 2:11-14
11සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත.
12අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්,
13අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්, සිහිනුවණින් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණිස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය.
14සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.
Alleluia
ශුද්ධ වූ ලූක් 2:10-11
10එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, ”බිය නොවන්න; මෙන්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි.
11මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය.
Gospel
ශුද්ධ වූ ලූක් 2:1-14
1තවද එසමයෙහි, අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා වෙතින් නියෝගයක් නික්මිණි.
2මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටිය දී කරන ලද පළමු වන සංගණනය යි.
3සියල්ලෝ ලියාපදිංචි වනු පිණිස තම තමන්ගේ නුවරවලට ගියහ.
4ජෝසෙප් ද දාවිත්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන්, ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවර බලා ගියේ ය.
5ඔහු ගියේ, තමාට විවාහ ගිවිසුම් දුන්, ගැබ්ගෙන සිටි මරිය තුමී සමඟ ලියාපදිංචි වන පිණිස ය.
6තවද, ඔවුන් එහි සිටිය දී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය.
7ඈ කුලුඳුල් පුත්‍රයා බිහි කොට රෙදිවලින් ඔතා, නවාතැන්ගෙයි ඉඩකඩ නොතිබුණු බැවින්, ගව ඔරුවක බෑවුවා ය.
8තවද, එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ.
9එවිට සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔවුන්ට දර්ශනය විය: සමිඳාණන් වහන්සේගේ තේජශ්‍රීය ඔවුන් සිසාරා බැබළිණි; ඔව්හු අතිශයින් බියපත් වූ හ.
10එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, ”බිය නොවන්න; මෙන්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි.
11මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය.
12රෙදිවලින් ඔතා ගව ඔරුවක බාවා සිටින බිළිඳෙක් ඔබට සම්බ වන්නේ ය. එය ඔබට සලකුණ ය”යි කී ය.
13ඒ ඇසිල්ලෙහි ම දේව දූතයා සමඟ ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පසසමින්,
14අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.
Vigil Mass
Reading I
යෙසායා 62:1-5
1මම සියොන් උදෙසාත්, ජෙරුසලම උදෙසාත් නිහඬ ව නොසිටින්නෙමි. එහි දැහැමි බව දීපකයක් මෙන් ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන් ද බැබළෙන තෙක් නිශ්ශබ්ද ව නොසිටින්නෙමි.
2එම්බා ජෙරුසලම! ජාතීන් නුඹේ දැහැමි බවත්, සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනු ඇත. සමිඳුන්ගේ ම මුඛයෙන් පැවසෙන අලුත් නමක් නුඹට දෙනු ලබන්නේ ය.
3නුඹ සමිඳුන්ගේ අතෙහි අලංකාර ඔටුන්නක් ද නුඹේ දෙවිඳුන්ගේ අතෙහි රාජ කිරීටයක් ද මෙන් වන්නෙහි ය.
4නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.
5තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය. මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.
Responsorial Psalm
ගීතාවලිය 89:4-5, 16-17, 27, 29.
4‘මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි. පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.’ ”
5අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය.
16දවස පුරා ඔව්හු ඔබ අබියස ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඔබේ දැහැමිකම ගැන වෙසෙසින් පසසන්නෝ ය.
17ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙන සේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙන සේක.
27ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි.
29ඔහුගේ රාජ වංශය අහස මෙන් තිරසර ව පවතින්නේ ය; ඔහුගේ පෙළපතෙන් ම කෙනෙක් නිරතුරු රජකමට පත් වන්නේ ය.
Reading II
ක්‍රියා 13:16-17, 22-25
16එවිට පාවුලු නැඟිට අතින් සංඥා කොට, ”ඉශ්රායෙල් ජනයෙනි, දේවභය ඇත්තෙනි, සවන් දෙන්න.
17මේ ඉශ්රායෙල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන, මිසර දේශයේ විදේශී ව සිටිය දී ඔවුන් උසස් කොට, බලසම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනා සේක.
22උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක.
23දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක.
24උන් වහන්සේගේ පැමිණීමට පෙර ජොහන් ඉශ්රායෙල්හි මුළු සෙනඟට පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනය දේශනා කෙළේ ය.
25තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය.
Alleluia
:-
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 1:1-25
1ආබ්‍රහම්ගේ ද දාවිත්ගේ ද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේ ය.
2ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ.
3ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේරොන් ද, හශේරොන්ට දාව ආරාම් ද,
4ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද,
5සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද, ඕබෙද්ට දාව ජෙස්සේ ද,
6ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද,
7සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද,
8ආසප්ට දාව ජෙහොෂාපාත් ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම් ද, ජෝරාම්ට දාව උශ්ශියා ද,
9උශ්ශියාට දාව ජෝතාම් ද, ජෝතාම්ට දාව ආහස් ද, ආහස්ට දාව හෙසකියා ද,
10හෙසකියාට දාව මනස්සේ ද, මනස්සේට දාව ආමොස් ද, ආමොස්ට දාව ජෝසියා ද,
11බබිලෝනියට විප්‍රවාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය.
12බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙයල්තියෙල් ද, ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් ද,
13සෙරුබාබෙල්ට දාව අබියුද් ද, අබියුද්ට දාව එලියාකිම් ද, එලියාකිම්ට දාව ආශොර් ද,
14ආශොර්ට දාව සාදොක් ද, සාදොක්ට දාව ආකීම් ද, ආකීම්ට දාව එලියුද් ද,
15එලියුද්ට දාව එලෙයාසර් ද, එලෙයාසර්ට දාව මත්තාන් ද, මත්තාන්ට දාව ජාකොබ් ද,
16ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන් සේක.
17මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා පරම්පරා සියල්ල දස සතරකි; දාවිත් පටන් බබිලෝනියේ විප්‍රවාසගතවීම දක්වා පරම්පරා දස සතරකි; බබිලෝනියේ විප්‍රවාසගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි.
18ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.
19ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය.
20එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, ”දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්.
21ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.
22මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණිස ය. එනම්:
23මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, ”දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.
24ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.
25එහෙත්, ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ එක් නො වී ය. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැබී ය.