කියවීම්
2026 දෙසැම්බර් 8
Solemnity of the Immaculate Conception of the Blessed Virgin Mary
දවසේ දේව මෙහෙය
Reading I
උත්පත්ති කථාව 3:9-15, 20
9එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, ”නුඹ කොහේ දැ”යි ඇසූ සේක.
10ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය.
11එවිට උන් වහන්සේ, ”නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.
12ඔහු ද පිළිතුරු දෙමින්, ”ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය.
13එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, ”නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. ”සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.
14එවිට දෙවි සමිඳාණන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක: ”තා මෙය කළ බැවින් සියලු ගමහිෂයන්ට ද වනයේ සියලු මෘගයන්ට ද වඩා තෝ සාප ලද්දෙක් වේ වා! දිවි ඇති තාක් උර ගා යමින් තෝ දූවිලි කන්නෙහි ය.
15තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”
20මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි.
Responsorial Psalm
ගීතාවලිය 98:1, 2-3, 3-4
1සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
Reading II
එපීස 1:3-6, 11-12
3ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!
4ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක.
5තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ, අප දරුකමට පිළිගන්න පිණිස, දෙවියන් වහන්සේ පෙර නියම කළ සේක.
6උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය.
11අපි මෙම ක්‍රිස්තුන් වහන්සේ තුළින් තෝරාගත් සෙනඟක් වෙමු. එසේ වන්නේ, දෙවියන් වහන්සේ පෙර නියම කරගත් සැලැස්ම ලෙස, සියල්ල සිදු කරන ස්වකීය අභිප්‍රාය අනුව ය.
12මෙසේ වූයේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ප්‍රථමයෙන් බලාපොරොත්තු ලැබූ අප, උන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිස ය.
Alleluia
ශුද්ධ වූ ලූක් 1:28
28දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ”විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය.
Gospel
ශුද්ධ වූ ලූක් 1:26-38
26සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ,
27දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය.
28දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ”විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය.
29එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය.
30දේව දූතයා ඈට කතා කොට, ”මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය.
31මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න.
32උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක;
33උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය.
34එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, ”මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැකි දැ”යි ඇසුවා ය.
35දේව දූතයා ඈට උත්තර දෙමින්, ”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.
36බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය.
37මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය.
38මරිය තුමී කතා කරමින්, ”බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.