කියවීම්
2026 දෙසැම්බර් 16
Wednesday of the Third Week of Advent
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 45:6-8, 18, 21-25
6මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය. මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.
7ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.
8එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න. ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා! ස්වාමීන් වන මම මෙය සිදු වන්න සලස්වන්නෙමි.”
18සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක: ”මම සමිඳුන් වෙමි; හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත.
21ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය; වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,
22ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.
23මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ; එය සත්‍යයකි. ‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’
24මා තුළින් පමණක් ශක්තිය හා දැහැමිකම ඇති වේ යයි ඔවුන් කියනු ඇත. මට විරුද්ධ ව නැඟිටින අය නින්දා දුක් විඳිනු ඇත.
25ඉශ්රායෙල්වරුන්ගේ සකල පරපුර මා තුළින් දමිටු කරනු ලැබ මා හට පැසසුම් දෙනු ඇත.”
Responsorial Psalm
ගීතාවලිය 85:9, 10, 11-12, 13-14
9එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
10තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.
11විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.
12සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය.
13දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය. එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
Alleluia
යෙසායා 40:9-10
9සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, ”ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.
10මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බලපරාක්‍රමයෙන් වඩින සේක. වික්‍රමයෙන් පාලනය කරන්න වඩින සේක. ත්‍යාගයන් එතුමාණෝ තමන් සමඟ ගෙන එන සේක. තම සෙනඟට විපාකයන් ප්‍රදානය කරන සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 7:18-23
18ජොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වූ හ. එවිට ජොහන් සිය ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා,
19වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ”යි අසනු පිණිස සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් යැවී ය.
20ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, ” ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ.
21ඒ වේලාවේ දී ම උන් වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර, අශුද්ධාත්ම දුරු කර, අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන් සේක.
22උන් වහන්සේ උත්තර දෙමින්, ”යන්න, ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න; අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ.
23මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ඔවුන්ට වදාළ සේක.