දෙසැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
2728293031
අද දිනට

කියවීම්

2026 දෙසැම්බර් 20

Fourth Sunday of Advent

දවසේ දේව මෙහෙය
Reading I

සාමුවෙල්ගේ දෙ වන පොත 7:1-5, 8-12, 14, 16

1දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය. 2එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට, ”මෙන්න, මම දැන් කිහිරි ගෙයක වසමි; එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළේ තිබේ ය”යි කීවේ ය. 3එවිට නාතාන් පිළිතුරු දෙමින්, ”ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය. 4තවද, එම රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ පණිවුඩය නාතාන් වෙත පැමිණියේ ය. 5උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න: 8එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි. 9නුඹ ගිය හැමතැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳදැමුවෙමි. මිහි පිට සිටින උත්තමයන්ගේ නාමය මෙන් උසස් නාමයක් නුඹට සලසා දෙන්නෙමි. 10මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නො‍ලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කළා සේ තවත් ඔවුන්ට හිරිහැර නො‍කරන්නාහ. 11එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක. 12නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි. 14මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළො‍ත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි. 16නුඹේ වංශය ද රාජශ්‍රීය ද මා ඉදිරියෙහි සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය. නුඹේ සිංහාසනය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.”
Responsorial Psalm

ගීතාවලිය 89:2-3, 4-5, 27, 29

2ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි; ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි. 3ඔබ මෙසේ වදාළ සේක: ”මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි; මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි: 4‘මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි. පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.’ ” 5අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය. 27ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි. 29ඔහුගේ රාජ වංශය අහස මෙන් තිරසර ව පවතින්නේ ය; ඔහුගේ පෙළපතෙන් ම කෙනෙක් නිරතුරු රජකමට පත් වන්නේ ය.
Reading II

රෝම 16:25-27

25දෙවියන් වහන්සේට මහිමය වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පණිවුඩය හා මා දේශනා කළ සුබ අස්න අනුව ද දීර්ඝ යුගයන්හි සැඟවී තිබී දැන් එළිදරව් කොට ඇති අබිරහස අනුව ද ඔබ ඇදහිල්ලෙහි ස්ථීර ලෙස පිහිටුවීමට උන් වහන්සේ පොහොසත් වන සේක. ‍ 26දැන් වනාහි ඒ අබිරහස දිවැසිවරයන්ගේ ලියවිලිවලින් අනාවරණය කර ඇත. සියල්ලන් ම අදහා කීකරු වන පිණිස, සදාතන දෙවියන් වහන්සේගේ ආඥාවෙන් එය සකල ජාතීන්ට ප්‍රකාශකොට ඇත. ‍ 27සකල ප්‍රඥාවෙන් යුක්ත වූ අසමසම දෙවියන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සදහට ම මහිමය වේ වා! ආමෙන්.
Alleluia

ශුද්ධ වූ ලූක් 1:38

38මරිය තුමී කතා කරමින්, ”බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.
Gospel

ශුද්ධ වූ ලූක් 1:26-38

26සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ, 27දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. 28දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ”විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය. 29එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. 30දේව දූතයා ඈට කතා කොට, ”මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය. 31මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න. 32උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; 33උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය. 34එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, ”මට පුරුෂයෙකු නැති බැවින් මෙ‍වැන්නක් කෙසේ විය හැකි දැ”යි ඇසුවා ය. 35දේව දූතයා ඈට උත්තර දෙමින්, ”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. 36බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය. 37මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය. 38මරිය තුමී කතා කරමින්, ”බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.