කියවීම්
2026 දෙසැම්බර් 29
The Fifth Day in the Octave of Christmas
දවසේ දේව මෙහෙය
Reading I
1 ජොහන් 2:3-11
3අපි උන් වහන්සේගේ ආඥා පිළිපදිමු නම්, එයින් අප උන් වහන්සේ දන්නා බව සහතික වේ.
4මම උන් වහන්සේ දනිමි”යි කියමින් උන් වහන්සේගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි; සත්‍යය ඔහු තුළ නැත.
5එහෙත් යමෙක් උන් වහන්සේගේ දහම පිළිපදින්නේ ද, ඒකාන්තයෙන් ම ඔහු තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත. අප උන් වහන්සේ තුළ සිටින බව දැනගන්නේ මෙසේ ය:
6උන් වහන්සේ තුළ ජීවත් වන්නේ යයි කියන තැනැත්තා, ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් විය යුතු ය.
7ප්‍රේමවන්තයෙනි, මා ඔබ හට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම ඔබ අතර තිබුණු පැරණි ආඥාව ය. ඒ පැරණි ආඥාව නම් ඔබ අසා ඇති පණිවුඩය ම ය.
8කෙසේ වෙතත් මා ඔබ වෙත ලියා එවන මෙම ආඥාව අලුත් එකකි. එහි සත්‍යය ක්‍රිස්තුන් වහන්සේ තුළ ද ඔබ තුළ ද විද්‍යමාන වී ඇත. මන්ද, අන්ධකාරය පහ ව යන්නේ ය. සැබෑ ආලෝකය දැනටමත් බැබළෙන්නේ ය.
9ආලෝකයෙහි පවතිමි යි කියමින් සිය සහෝදරයාට වෛර කරන්නා තවමත් අන්ධකාරයෙහි සිටියි.
10සිය සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයෙහි සිටියි. ඒ නිසා පැකිළී වැටීමට හේතුවක් ඔහුට නැත.
11එහෙත් සිය සහෝදරයාට වෛර කරන්නා අන්ධකාරයෙහි හැසිරෙයි. අන්ධකාරයෙන් ඔහුගේ ඇස් අන්ධ වී තිබෙන බැවින්, තමා යන්නේ කොහේ දැ යි ඔහු නොදනියි.
Responsorial Psalm
ගීතාවලිය 96:1-2, 2-3, 5-6
1සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.
2සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.
3විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.
5ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක.
6ගෞරවය ද තේජස ද එතුමන් අබිමුව පවත්නේ ය; ශක්තිය ද ශෝභාව ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
Alleluia
ශුද්ධ වූ ලූක් 2:32
32විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.”
Gospel
ශුද්ධ වූ ලූක් 2:22-35
22මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණියෙන්, ඔව්හු උන් වහන්සේ සමිඳාණන් වහන්සේට කැප කරනු වස්, ජෙරුසලමට ගෙනාහ.
23එසේ කෙළේ, ”හැම කුලුඳුල් පිරිමි දරුවෙක් ම සමිඳාණන් වහන්සේට කැප ය”යි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති ලෙස, දරුවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිසත්,
24එහි ම කියා ඇති පරිදි කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත් ය.
25එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ.
26සමිඳාණන් වහන්සේ අභිෂේක කළ ‘ක්‍රිස්තුන් වහන්සේ දක්නට පළමුවෙන් ඔහු මරණය නොදක්නේ ය’යි ශුද්ධාත්මයාණන් විසින් ඔහුට අනාවරණය කරනු ලැබ තිබිණි.
27ඔහු ශුද්ධාත්මානුභාවයෙන් දේව මාලිගාවට පැමිණියේ ය. ළදරු ජේසුස් වහන්සේ පිළිබඳ ව ව්‍යවස්ථාවෙහි සඳහන් වත්පිළිවෙත් ඉටු කරනු වස්, දෙමවුපියන් උන් වහන්සේ ගෙනා විට,
28ඔහු උන් වහන්සේ දෝතින් වඩාගෙන මෙසේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:
29සමිඳුනි, ඔබ පොරොන්දු වූ ලෙස ම දැන් ඔබ දාසයා හට, ශාන්ති සිතින් යාමට ඔබ නිදහස දී ඇත,
30මන්ද, ගැළවීම මාගේ දෙනෙතින් දිටිමි.
31එය සකල ජාතීන් අබිමුව කළ ගැළවීම ද
32විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.”
33උන් වහන්සේ පිළිබඳ ව කී දේ ගැන උන් වහන්සේගේ පියා ද මවු ද මවිත වූ හ.
34සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, ”මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී.
35එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත. මෙසේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය.