කියවීම්
2026 දෙසැම්බර් 13
Third Sunday of Advent
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 61:1-2, 10-11
1මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.
2සමිඳුන්ගේ කරුණාවේ දවස, සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිස ද වැලපෙන සියල්ලන් සනසන පිණිස ද එතුමා මා ආලේප කළ සේක.
10මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.
11පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.
Responsorial Psalm
ශුද්ධ වූ ලූක් 1:46-48, 49-50, 53-54
46එවිට මරිය තුමී මෙසේ උදන් ඇනුවා ය: ”මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,
47මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි;
48මක්නිසා ද, එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක. හැම පරපුරක් ම මෙතැන් සිට, භාග්‍යවන්තී ය’යි මට කියනු ඇත.
49පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. ‘පරිශුද්ධයාණෝ’ යනු එතුමන්ගේ නාමය ය.
50එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.
53සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.
54අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට,
Reading II
1 තෙසලෝනික 5:16-24
16නිතර ම ප්‍රීති වන්න,
17නොකඩව යාච්ඤා කරන්න,
18සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.
19ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න;
20දිවැස් වැකි සුළු කොට නොතකන්න.
21සියල්ල විමසා බලා, යහපත් දේ තදින් අල්ලාගන්න.
22සියලු ආකාර නපුරෙන් වළකින්න.
23සාමදානයේ දෙවියන් වහන්සේ ම ඔබ මුළුමනින් ම පවිත්‍ර කරන සේක් වා! ඔබගේ මුළු ආත්මය ද ප්‍රාණය ද ශරීරය ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේ දී නිදොස් ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේ වා!
24ඔබ කැඳවන තැනැන් වහන්සේ විශ්වාසවන්ත ය; උන් වහන්සේ එය ඉෂ්ට කරනු නියත ය.
Alleluia
යෙසායා 61:1
1මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 1:6-8, 19-28
6දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය.
7ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි.
8ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය.
19ඔබ කවරෙක් දැ”යි අසන පිණිස ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන් ද ලෙවීයයන් ද යැවූ කල, ජොහන් සාක්ෂි දෙමින්,
20මම ක්‍රිස්තුස් නොවෙමි”යි නොසඟවා ම ප්‍රකාශ කෙළේ ය.
21එසේ නම් කිමෙක් ද? ඔබ එලියා දැ”යි ඔව්හු ඇසූ හ. ”නැතැ”යි ඔහු කී ය. ”ඔබ ඒ දිවැසිවරයා ද?” යන ප්‍රශ්නයටත්, ”නැතැ”යි ඔහු කී ය.
22එසේ නම්, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ”යි ඔව්හු ඇසූ හ.
23මම නම්, යෙසායා දිවැසිවරයා කී පරිදි, ‘සමිඳාණන්ගේ මඟ පිළියෙළ කරන්නැ’යි පාළුකරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි”යි ජොහන් පිළිතුරු දුනි.
24එවන ලද සමහරෙක් පරිසිවරු ය.
25ඔව්හු ප්‍රශ්න කරමින්, ”ඉදින් ඔබ ක්‍රිස්තුස් වත්, එලියා වත්, ඒ දිවැසිවරයා වත් නොවන්නෙහි නම්, බව්තීස්ම-ස්නාපනය b කරන්නේ කුමක් නිසා දැ”යි ඇසූ හ.
26ජොහන් ද පිළිතුරු දෙමින්, ”මම වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත්, ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති.
27එනම්, මට පසුව වඩින තැනැන් වහන්සේ ය; උන් වහන්සේගේ පාවහන් පටි මුදන්නට වත් මම නොවටිමි”යි කී ය.
28මෙය සිදුවූයේ, ජොහන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ජොර්දානෙන් එතෙර බෙතානියේ දී ය.