දෙසැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
2728293031
අද දිනට

කියවීම්

2026 දෙසැම්බර් 14

Memorial of Saint John of the Cross, Priest and Doctor of the Church

දවසේ දේව මෙහෙය
Reading I

ගණන් කථාව 24:2-7, 15-17

2ඔහු හිස ඔසවා බැලූ විට, ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර අනුව කඳවුරු බැඳ සිටිනු දිටී ය. දේවාත්මානුභාවය ඔහු මත විය. 3එවිට ඔහු මේ අනාවැකිය කී ය: ”බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය. ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය. 4දෙවි වදනට සවන් දුන්, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දුටු, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය. 5එම්බා ජාකොබ්! ඔබේ කූඩාරම් කෙතරම් මනහර ද? එම්බා ඉශ්රායෙල්! ඔබේ කඳවුරු කෙතරම් ශෝභන ද? 6ඒවා දුරට පැතිර විහිදෙන මිටියාවත් මෙනි, ගඟබඩ උයන් මෙනි; සමිඳුන් රෝපණය කළ අගරු ගස් මෙනි; ගං තෙර කිහිරි ගස් මෙනි. 7ඔවුන්ගේ බඳුන්හි ජලය උතුරා යයි; ඔවුන්ගේ පෙළපත මහ සමුදුර මෙනි, ඔවුන්ගේ රජ, ආගග් රජුට වඩා උසස් වනු ඇත. ඔවුන්ගේ අණසක දසත පැතිර යනු ඇත. 15ඉන්පසු බාලාම් මේ අන්තිම අනාවැකිය කී ය. ”බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය, ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය. 16දෙවි වදනට සවන් දුන්, මෙහෙසුරු පිළිබඳ දැනගැන්ම ඇති, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දිටි, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය. 17මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ; මට එතුමන් පෙනේ, එහෙත් ළඟපාත නොවේ; ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත; ඉශ්රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත. එතුමන් මෝවබ් නායකයන්ට පහර දී, ඔද වැඩි, සැහැසියන් වනසනු ඇත.
Responsorial Psalm

ගීතාවලිය 25:4-5, 6 and 7, 8-9

4සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. 5ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි. 6සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව. මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය. 7සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව. සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව. 8සමිඳාණෝ යහපත් ය; අවංක ය. එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක. 9එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක. එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක.
Alleluia

ගීතාවලිය 85:8

8දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක.
Gospel

ශුද්ධ වූ මතෙව් 21:23-27

23උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව උගන්වමින් සිටිය දී නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙතට අවුත්, ”ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරි බලයකින් ද? මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි ප්‍රශ්න කළහ. 24ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”මමත් ඔබගෙන් ප්‍රශ්නයක් විචාරමි. ඔබ එය මට කියන්නහු නම්, මේ දේවල් කරන්නේ කුමන අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට කියමි. 25බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ජොහන් ලැබුවේ කවරෙකුගෙන් ද? දෙවියන් වහන්සේගෙන් ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක. ඔව්හු තම තමන් අතර තර්ක කරමින්, ” ‘දෙවියන් වහන්සේගෙන් ය’යි කීවොත්, ‘එසේ නම් ඔබ ජොහන් විශ්වාස නොකෙළේ මන්දැ’යි අපෙන් අසනු ඇත. 26‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කීවොත්, ජොහන් දිවැසිවරයෙකු බව සියලු දෙනාම පිළිගෙන ඇති හෙයින් සමූහයාට මුහුණ දීමට අපට නො හැකිවනු ඇත” යනුවෙන් තම තමන් අතර තර්ක කරමින් සිට, බියෙන්, ”අපි නොදනිමු”යි ජේසුස් වහන්සේට උත්තර දුන්හ. 27උන් වහන්සේ කතා කරමින්, ”කවර අධිකාරි බලයකින් මම මේ දේවල් කරම් දැ යි මමත් ඔබට නොකියමි”යි ඔවුන්ට වදාළ සේක.