ඔක්තෝබර් 2027

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2027 ඔක්තෝබර් 5

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

ජෝනා 3: 1-10

1සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරට ජෝනා වෙත පැමිණියේ ය. 2නුඹ නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. 3එවිට ජෝනා නැඟිට සමිඳාණන් වහන්සේ නියම කළ පරිදි නිනිවයට ගියේ ය. නිනිවය ඉතා විශාල නගරයකි. එය හරහා යාමට දවස් තුනක් ගත වේ. 4ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, ”තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ”යි මොරගසා ප්‍රකාශ කෙළේ ය. 5නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය. 6ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය. 7එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය: ”මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා! 8මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා! 9අප විනාශ නොවන පිණිස සමහර විට දෙවියන් වහන්සේ හැරී තමන් සිත වෙනස් කරගෙන, තමන්ගේ බලවත් උදහසින් දුරුවන්න බැරි නැත.” 10දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.
Responsorial Psalm

ගීතාවලිය 130: 1b-2, 3-4ab, 7-8

1සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි. 2සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව. 3සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද? 4එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක. 7එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න. මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය. ගැළවීම මුළුමනින් ම එතුමන් අතෙහි ය. 8එතුමාණෝ ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පාප සියල්ලෙන් මුදා හරින සේක.
Alleluia

ශුද්ධ වූ ලූක් 11: 28

28උන් වහන්සේ ද, ”එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ලූක් 10: 38-42

38තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ යද්දී, උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන් වහන්සේ පිළිගත්තා ය. 39ඇයට මරියා නම් සහෝදරියක් වූවා ය. ඈ සමිඳාණන් වහන්සේගේ පාමුල හිඳ උන් වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නා ය. 40එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙ‍න් කරදර වී සිටියා ය. ඈ උන් වහන්සේ වෙතට පැමිණ, ”ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිට ම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැද් ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවැ”යි කීවා ය. 41එහෙත් සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, ”මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය. 42එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය”යි වදාළ සේක.