කියවීම්
2027 ඔක්තෝබර් 23
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary/ John of Capistrano, Priest
John of Capistrano, Priest
First Reading
රෝම 8: 1-11
1මෙසේ ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත්වන්නවුනට විරුද්ධ ව නඩු තීන්දුවක් නැත.
2ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයාණන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති, පාපයේ හා මරණයේ නියමයෙන් ඔබ නිදහස් කර ඇත.
3මිනිස් දුර්වලතා නිසා, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කෙළේ, පාපයේ බලය බිඳින පිණිස, ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින්, ඒ මිනිස් කයේ සිටිය දී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධ ව තීන්දුව දීමෙනි.
4උන් වහන්සේ එසේ කෙළේ මාංසය අනුව නොව, ආත්මයාණන් අනුව හැසිරෙන අප තුළ නීතියේ නියමයන් ඉටු වන පිණිස ය.
5මාංසික ලෙස ජීවත් වන්නෝ මාංසික දේවලට ද ආත්මයාණන් අනුව ජීවත් වන්නෝ ආධ්‍යාත්මික දේවලට ද මුළු සිතින් ප්‍රිය කරති.
6මාංසික චේතනාවේ විපාකය මරණය වේ; ආධ්‍යාත්මික චේතනාවේ විපාකය ජීවනය හා ශාන්තිය වේ.
7මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි.
8මාංසික තෘෂ්ණාවලට වසඟවූවන්ට දෙවියන් වහන්සේ සතුටු කළ නොහැකි ය.
9එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ සැබැවින් ම ඔබ තුළ වාසය කරන සේක් නම්, ඔබ ජීවත් වන්නේ මාංසික තෘෂ්ණාවල නොව, ආත්මයාණන් තුළ ය. යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන් නැති නම්, ඔහු උන් වහන්සේට අයිති නැත.
10එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, පාපය නිසා ඔබේ ශරීරය මැරී ඇතත්, දමිටු බව නිසා ඔබේ ආධ්‍යාත්මය ජීවමාන ය.
11තවද, ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වසන ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරන සේක.
Responsorial Psalm
ගීතාවලිය 24: 1b-2, 3-4ab, 5-6
1පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති.
2මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය.
3හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද?
4ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.
5එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති; මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති.
6දෙවිඳුන් සොයා යන්නෝ ද ජාකොබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝ ද එවැනි අය ය.
Alleluia
එසකියෙල් 33: 11
11මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වනවාට මිස, ඔහු නසිනවාට මම ප්‍රසන්න නොවෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. ඉශ්රායෙල් ජනයෙනි, හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ කුමට දැ’යි ඔවුන්ට කියන්න.
Gospel
ශුද්ධ වූ ලූක් 13: 1-9
1ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම යාග සමඟ මිශ්‍ර කළ අන්දම ගැන උන් වහන්සේට දැන්වූ හ.
2උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔව්හු අන් හැමට ම වඩා පාපී වූ හ යි ඔබ සිතන්නහු ද? එසේ නොවේ ය යි මම ඔබට කියමි.
3පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය.
4සිලෝවම් හී බලකොටුව වැටී ඊට යට වී මළ දසඅට දෙන ජෙරුසලමෙහි විසූ අන් හැමට ම වඩා දුෂ්ට වූ හ යි ඔබ සිතන්නාහු ද?
5එසේ නොවේ ය යි ඔබට කියමි. පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැමට වන්නේත් එම විපත්තිය ම ය”යි වදාළ සේක.
6උන් වහන්සේ උපමාවක් වදාරමින්, ”එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේ ය. එහෙත් කිසිවක් සම්බ නො වී ය.
7එවිට ඔහු උයන්ගොව්වාට කතා කරමින්, ‘බලන්න, දැන් අවුරුදු තුනක් ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ නො වී ය. ගස කපා දමන්න; එය පොළොවට බරක් ව තිබිය යුතු මන්දැ’යි කී ය.
8ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණා වේ.
9ඉන්පසු පල දැරුවොත් හොඳ ය; නැති නම් එය කපා දමන්නට පුළුවනැ’ ”යි කී බව වදාළ සේක.