කියවීම්
2027 ඔක්තෝබර් 27
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
රෝම 8: 26-30
26එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක.
27අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි.
28තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු.
29මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය.
30එසේ, කලින් තෝරාගත් අය උන් වහන්සේ කැඳවාගත් සේක; කැඳවාගත් අය උන් වහන්සේ දමිටු බවට පැමිණෙවූ සේක; දමිටු බවට පැමිණෙවූ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවූ සේක.
Responsorial Psalm
ගීතාවලිය 13: 4-5, 6
4එවිට නොහැක, මාගේ සතුරාට, ”ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට; නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට.
5ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි. ඔබ මා ගැළෙවු බැවින් මම ප්‍රීති වන්නෙමි.
6සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමන් හට මම ගී ගයන්නෙමි.
Alleluia
2 තෙසලෝනික 2: 14
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ලූක් 13: 22-30
22උන් වහන්සේ ජෙරුසලම බලා යද්දී නගර හා ගම් නියම්ගම් මැදින් අනුශාසනා කරමින් වැඩි සේක.
23එක් කෙනෙක් කතා කොට, ”ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක:
24පටු දොරෙන් ඇතුළු වන්නට වීර්ය කරන්න. මන්ද, බොහෝ දෙනෙක් ඇතුළු වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ ය යි මම ඔබට කියමි.
25ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත.
26එවිට ඔබ: ‘අපි ඔබ සමඟ කෑවෙමු, බීවෙමු, ඔබ අපේ වීදිවල ඉගැන්වූ සේකැ’යි කියන්නහු ය.
27එහෙත් ඔහු කතා කොට, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි මම නොදනිමි. අදමිටුකම් කරන නුඹලා සියලු දෙනා ම මා කෙරෙන් පලා යව්’ යයි කියන්නේ ය.
28ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සියලු දිවැසිවරයන් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි සිටිය දී ඔබ පිටතට දමනු ලබන කල එහි විලාප කීම ද දත්මිටිකෑම ද ඇති වේ.
29තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය.
30මෙන්න, දැන් අන්තිමයන් ව සිටින සමහරු ප්‍රථමයෝ ද දැන් ප්‍රථමයන් ව සිටින සමහරු අන්තිමයෝ ද වන්නෝ ය.”