කියවීම්
2027 ඔක්තෝබර් 21
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
රෝම 6: 19-23
19ඔබගේ තේරුම් ගැනීමේ දුර්වලතා මා දන්න නිසා නිදර්ශන දක්වමින් ඔබට කතා කරමි. එනම්, ඔබ වරක් අයුතුකම් කරන ලෙස ඔබේ ඉන්ද්‍රියයන් අපිරිසුදුකමේත් අයුක්තියේත් වහල් සේවයට භාර දුන්නාක් මෙන්, දැන් පාරිශුද්ධත්වය සඳහා ඔබේ ඉඳුරන් දමිටුකමේ වහල් සේවයට භාර දෙන්න.
20ඔබ පාපයට දාසයන් ව සිටිය දී දමිටුකමේ නියමයන්ට නොබැඳී සිටියහු ය.
21එයින් කුමන ප්‍රතිඵලයක් ඇති වී ද? ඇති වූයේ ඔබ දැන් ලජ්ජාවට පමුණුවන, මරණයෙන් කෙළවර වන ප්‍රතිඵලය යි.
22එහෙත් දැන් ඔබ පාපයෙන් නිදහස ලබා දෙවියන් වහන්සේගේ දාසයන් ව සිටින බැවින් සදාතන ජීවිතයෙන් කෙළවර වන, විශුද්ධි මාර්ගයෙහි පල දරන්නහු ය.
23පාපයේ විපාකය මරණය යි, එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සදාතන ජීවනය යි.
Responsorial Psalm
ගීතාවලිය 1: 1-2, 3, 4 and 6
1දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන,
2සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.
3ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.
4පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.
6දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක. පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.
Alleluia
පිලිප්පි 3: 8-9
8එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්,
9උන් වහන්සේ හා ඒකාබද්ධ වීමත් ය; ව්‍යවස්ථාවෙන් වන මාගේ ම දමිටුකම නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහීම කරණකොටගෙන ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබාගැනීම ය.
Gospel
ශුද්ධ වූ ලූක් 12: 49-53
49පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද!
50මට එක්තරා බව්තීස්ම-ස්නාපනයක් ලබන්න තිබේ; එය ඉටු වන තුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි.
51පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි යි ඔබ සිතන්නාහු ද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස යයි මම ඔබට කියමි.
52මෙවක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධ ව තිදෙනෙක් ද තිදෙනෙකුට විරුද්ධ ව දෙදෙනෙක් ද භේද වන්නෝ ය.
53පියා පුතාටත්, පුතා පියාටත්, මව දුවටත්, දුව මවටත්, නැන්දම්මා ලේලිටත්, ලේලිය නැන්දම්මාටත් විරුද්ධ ව භේද වන්නෝ ය.”