කියවීම්
2027 ඔක්තෝබර් 16
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary/ Hedwig, Religious/ Margaret Mary Alacoque, Virgin
Margaret Mary Alacoque, Virgin
First Reading
රෝම 4: 13, 16-18
13ආබ්‍රහම්ට හෝ ඔහුගේ දරු පෙළපතට හෝ ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව කිසි සේත් නීතිය පිළිපැදීම නිසා ඇති වූවක් නොවේ. එය ඇති වූයේ ඇදහිල්ල නිසා සිදු වන දමිටු බව හේතුකොටගෙන ය.
16මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී. එසේ වන්නේ, ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමට ම, එනම්, නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව, අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත්, ඒ පොරොන්දුව වලංගු වන බව සහතික කරන පිණිස ය.
17මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කොට පත් කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේ මේ නිසා ය. ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමා අදහන, මළවුන් හට ජීවිතය දෙන, නැති දේ ඇති කරන, දෙවියන් වහන්සේගෙන් ය.
18බලාපොරොත්තු රහිත තත්ත්වයක දී වුව ද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කෙළේ ය. ඔහු බොහෝ ජාතීන්ගේ පියා වූයේ, ”එබඳු මහා පෙළපතක් ඔබට ඇති වන්නේ ය” යන කීම පරිදි ය.
Responsorial Psalm
ගීතාවලිය 105: 6-7, 8-9, 42-43
6එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
7එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ විනිසය මුළු පොළොවෙහි ය.
8එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.
9ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක. ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.
42එතුමාණෝ සිය මෙහෙකරු ආබ්‍රහම් ද ඔහුට දුන් ශුද්ධ ගිවිසුම ද සිහි කළ සේක.
43මෙසේ එතුමාණෝ සිය සෙනඟ පිටත ගෙන ගිය සේක. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟා ගී ගැයූ හ.
Alleluia
ශුද්ධ වූ ජොහන් 15: 26b, 27a
26මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්, එනම්, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක.
27තවද, මුල සිට ම ඔබ මා සමඟ සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහු ය.
Gospel
ශුද්ධ වූ ලූක් 12: 8-12
8තවද යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝත් දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන සේක.
9එහෙත්, මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන තැනැත්තේ දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි දී ප්‍රතික්ෂේප කරනු ලැබේ යයි මම ඔබට කියමි.
10මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව යමක් කියන කවරෙකුට වුව ද කමාව ලැබෙන්නේ ය; එහෙත් ශුද්ධාත්මයාණන්ට, විරුද්ධ ව අපහාස කරන්නාට නම් කමාවක් නොලැබෙන්නේ ය.
11ඔවුන් ධර්මශාලාවලට ද අධිපතීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ද ඔබ ගෙන යන කල, ඔවුන්ට උත්තර දෙන්නේ කෙසේ ද කියා වත්, කියන්නේ කුමක් ද කියා වත්, සිතමින් කරදර නොවන්න.
12ඔබ කිය යුතු දේ ඒ මොහොතේ දී ම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට දන්වනු ඇත.”