කියවීම්
2027 ඔක්තෝබර් 20
Ordinary Weekday/ Paul of the Cross, Priest, Religious Founder
Paul of the Cross, Priest, Religious Founder
First Reading
රෝම 6: 12-18
12ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින් මතු ඔබගේ මැරෙන සුලු ශරීරයෙහි පාපය රජකම් නොකෙරේ වා.
13තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්ථාන වූ අය මෙන් දෙවියන් වහන්සේට කැප වී, ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධ වන ලෙස උන් වහන්සේට භාර කරන්න.
14මින් මතු ඔබේ ස්වාමියා, පාපය නොවේ; මන්ද, ඔබ නීතිය යටතෙහි නොව, දේව වරප්‍රසාදය යටතෙහි ජීවත් වන බැවිනි.
15එසේ නම් කුමක් කරමු ද? නීතිය යටතෙහි නොව, දේව වරප්‍රසාදය යටතෙහි සිටින බැවින් අපි පව් කරමු ද? කොහෙත්ම නැත.
16ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුණොත්, ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහු ද? පාපය ඔබේ ස්වාමියා වුවහොත්, එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය දමිටු බව වේ.
17වරක් පාපයට දාසයන් ව සිටි ඔබ, දැන් ඔබට භාර දී ඇති ඉගැන්වීමට මුළු සිතින් කීකරු වූ බැවින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා!
18ඔබ පාපයෙන් නිදහස ලැබූ විට දමිටුකමේ දාසයෝ වූවහු ය.
Responsorial Psalm
ගීතාවලිය 124: 1b-3, 4-6, 7-8
1ඉශ්රායෙල් මෙසේ කියත් වා! ”අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,
2අපට විරුද්ධ ව සතුරන් නැඟිට ආ කල, අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,
3ඔවුන්ගේ උදහස අපට විරුද්ධ ව ඇවුළුණු කල, අප පණපිටින් ගිල ගන්නට ඔවුන්ට ඉඩ තිබිණි.
4එවිට ජලයෙන් අප වැසී යන්නට ඉඩ තිබිණි; දිය දහරින් අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.
5සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.
6අපේ සතුරන්ට අප ගොදුරු වීමට ඉඩ නුදුන් සමිඳාණන්ට ප්‍රශංසා වේ වා!
7පක්ෂි වැද්දාගේ උගුලෙන් ගැළවී යන පක්ෂියෙකු මෙන් අපි මිදුණෙමු; උගුල බිඳී ගියේ ය. අපි ගැළවුණෙමු.
8අපේ පිහිටට ඇත්තේ, අහසත්, පොළොවත් මැවූ සමිඳුන්ගේ නාමය ය.”
Alleluia
ශුද්ධ වූ මතෙව් 24: 42a, 44
42එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය.
44එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. කුමක්නිසා ද ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණෝ වඩින සේක.”
Gospel
ශුද්ධ වූ ලූක් 12: 39-48
39එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.
40එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. මෙසේ කියන්නේ, ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින නිසා ය.”
41එවිට පේදුරු කතා කරමින්, ”ස්වාමීනි, මේ උපමාව වදාරන්නේ අප උදෙසා ද, නැතහොත් සියල්ලන් උදෙසා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.
42එවිට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: ”ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද?
43ස්වාමියා ආ කල යම් දාසයකු සිය සේවයෙහි සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය.
44ඒ ස්වාමියා තමා සන්තක සියල්ල භාර ව ඔහු පත් කරන්නේ යයි ඇත්තෙන් ම මම කියමි.
45එහෙත් ඒ දාසයා, ‘මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැ’යි සිතමින් දැසිදසුන්ට පහර දෙන්නටත් කා බී මත් වන්නටත් පටන් ගතහොත්,
46ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී ඒ දාසයාගේ ස්වාමියා අවුත් ඔහුට දරුණු ලෙස දඬුවම් කොට, අවිශ්වාසීන්ට නියම ඉරණම ඔහුටත් නියම කරන්නේ ය.
47සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය.
48එහෙත් ඒ අදහස නොදැන, පහර ලැබීමට නිසි දේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නෝ ය. යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ; යමෙකුට බොහෝ දේ පවරන ලද්දේ ද, ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ.”