ඔක්තෝබර් 2027

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2027 ඔක්තෝබර් 8

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

ජෝවෙල් 1: 13-15; 2: 1-2

13පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත. 14උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න. 15අහෝ! ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත. එය සර්ව පරාක්‍රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත. 1සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය. 2ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය.
Responsorial Psalm

ගීතාවලිය 9: 2-3, 6 and 16, 8-9

2ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි. 3ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති; පැකිළ වැටෙති, වැනසෙති. 6සතුරන්ගේ නගර සුණු විසුණු කර ඇත. ඒවායේ නම්ගම් මතකයෙන් පහකර ඇත. ඔවුන් සදාකල් විනාශයට පැමිණෙවු සේක. 16සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති. 8එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක. 9සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි.
Alleluia

ශුද්ධ වූ ජොහන් 12: 31b-32

31මේ ලෝකය පිළිබඳ විනිශ්චය මොහොත දැන් ය; මේ ලෝකයේ අධිපතියා දැන් පරාජය කරනු ලැබේ. 32තවද මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ලූක් 11: 15-26

15එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් කතා කොට, ”මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපති වූ බෙල්සෙබුල්ගේ අනුහසින් ය”යි කී හ. 16අන් සමහරු උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස, ස්වර්ගයෙන් හාස්කමක් උන් වහන්සේගෙන් ඉල්ලූ හ. 17උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙ‍සේ වදාළ සේක: ”ඊට ම විරෝධී ව භේද වූ යම් රාජ්‍යයක් ඇද්ද එය පාළු වන්නේ ය, ඊට ම විරෝධී ව භේද වූ යම් ගෙදරක් ඇද්ද එය පිරිහී යන්නේ ය. 18සාතන් ඔහුට ම විරෝධී ව භේද ව සිටී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් යයි ඔබ කියන්නාහු ය. 19එහෙත් මම බෙල්සෙබුල්ගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, ඔබගේ අනුගාමිකයෝ කවරකුගේ අනුහසින් ඔවුන් දුරු කරද් ද? මෙ‍ලෙස ඔබේ අනුගාමිකයෝ ම ඔබේ තර්කය බිඳදමති. 20එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත. 21අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත. 22එහෙත් ඔහුට වඩා බලවන්තයෙක් අවුත් ඔහු මැඩපවත්වන්නේ නම්, ඔහු විශ්වාසය තැබූ ආයුධ පැහැරගෙන, කොල්ලකාගත් දේ බෙදාගන්නේ ය. 23මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.” 24අශුද්ධාත්මය මිනිසකුගෙන් දුරු ව ගිය කල, ඔහු දිය නැති තැන්වල සැරිසරමින්, නවාතැනක් සොයන්නේ ය, එය නොලදහොත් ‘මා නික්ම ආ මාගේ නිවසට ආපසු යමි’යි කියන්නේ ය. 25ඔහු එහි පැමිණි කල, නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකියි. 26එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වූ තවත් ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේ ය. ඔව්හු ඒ නිවසට පිවිස එය අරක්ගනිති. එවිට ඒ පුද්ගලයාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය.”