කියවීම්
2027 ඔක්තෝබර් 4
Francis of Assisi, Religious Founder Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
ජෝනා 1: 1 - 2: 1-2, 11
1සමිඳාණන් වහන්සේගෙන් අමිත්තයිගේ පුත් ජෝනාට පැමිණි පණිවුඩය මෙසේ ය:
2නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් ඊට විරුද්ධ ව මොරගසන්න; මන්ද, එහි වැසියන්ගේ දුෂ්ටකම මට ඉතා හොඳින් පෙනේ.”
3එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය.
4එහෙත්, සමිඳාණන් වහන්සේ මුහුද පිට තද සුළඟක් හමන්න සැලැසූ සේක. එයින් මුහුදේ මහා කුණාටුවක් ඇති වී නැව බිඳෙන්නට විය.
5එවිට නාවිකයෝ බිය වී, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගැසුවෝ ය. ඔව්හු නැව සැහැල්ලු කරගන්න පිණිස එහි තිබුණු බඩු මුහුදට වීසි කළෝ ය. එහෙත්, ජෝනා නැවේ පහත තට්ටුවට බැස ගොස් බර නින්දකට වැටී හුන්නේ ය.
6එවිට නැව්පතියා ඔහු ළඟට අවුත්, ”ඔබ හොඳට ම නිදාගෙන සිටීමේ තේරුම කුමක් ද? නැඟිට ඔබේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. සමහර විට උන් වහන්සේ අප විනාශ නොවන ලෙස අප ගැන සලකනු ඇතැ”යි කී ය.
7එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, ”මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි.
8එවිට ඔව්හු ජෝනාගෙන් ප්‍රශ්න කරමින්, ”අපට පැමිණි මේ වින්නැහියට වගකිව යුත්තේ කවරෙක් ද? ඔබේ රැකියාව කුමක් ද? ඔබ කොහේ සිට ආවෙහි ද? ඔබේ රට කුමක් ද? ඔබේ ජාතිය කුමක් දැ”යි ඇසූ හ.
9ඔහු පිළිතුරු දෙමින්, ”මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය.
10ඔහු සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන බව ඔවුන් දැනගෙන සිටි නිසා ඔව්හු ඉතා බියපත් වී, ”ඔබ කළ මේ හදිය කුමක් දැ”යි ඇසූ හ.
11කුණාටුව වඩ වඩාත් වේගවත් වූ බැවින්, ”මුහුද නිශ්චල වන පිණිස අප ඔබට කුමක් කළ යුතු දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.
12මා රැගෙන මුහුදට බිලි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි”යි ඔහු ඔවුන්ට කීවේ ය.
13කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය.
14එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට හඬ ගසා, ”අහෝ සමිඳුනි, මේ මිනිසාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නො වේ වා! නිදොස් කෙනෙකුගේ මරණයට අපි වගකිව යුත්තෝ නොවෙම් වා! මන්ද, සමිඳුනි, ඔබේ කැමැත්ත පරිදි ඔබ ක්‍රියා කළ සේකැ”යි කී හ.
15ඉන්පසු ඔව්හු ජෝනා මුහුදට බිලි දුන්හ. එවිට මුහුදේ කැළඹීම නැවතිණි.
16මේ හේතුවෙන් නාවික පිරිස සමිඳාණන් වහන්සේ කෙරෙහි අතිශයින් බියපත් වී, උන් වහන්සේට පූජාවක් ඔප්පු කර බාරහාර පිදූ හ.
17සමිඳාණන් වහන්සේ ද ජෝනා ගිලගන්න පිණිස මහා මත්ස්‍යයෙකු සූදානම් කළ සේක. ඒ මත්ස්‍යයාගේ කුස තුළ ජෝනා දාවල් තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.
1ජෝනා මත්ස්‍යයාගේ කුසයේ සිට තම දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය.
Responsorial Psalm
ජෝනා 2: 3, 4, 5, 8
3ඔබ මුහුද මැද ගැඹුරට මා හෙළූ සේක. ජලධාරාවෝ මා සිසාරා සිටගත්හ. තරංග හා ජලකඳ සියල්ල මට උඩින් ගලා ගියේ ය.
4එවිට මම මෙසේ කීමි: ‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි. එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’
5ජලය මා ගෙල දක්වා නැඟ ආවේ ය. මුහුද මා වට කරගත්තේ ය. මුහුදු පැළෑටි මාගේ හිස වටේ එතුණේ ය.
8බොරු දෙවිවරුන් නමදින්නෝ ඔබට ඇති පක්ෂපාතකම පැහැර හරිති.
Alleluia
ශුද්ධ වූ ජොහන් 13: 34
34මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.
Gospel
ශුද්ධ වූ ලූක් 10: 25-37
25එක්තරා විනයධරයෙක් නැඟිට, උන් වහන්සේ පරීක්ෂා කරමින් ”ගුරුදේවයෙනි, සදාතන ජීවනය හිමි කරගනු සඳහා මා කුමක් කටයුතු දැ”යි ඇසී ය.
26උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, ”ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කිමෙක් ද? ඔබ එය තේරුම්ගන්නේ කෙසේ දැ”යි ඇසූ සේක.
27ඔහු උත්තර දෙමින්, ”නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත්, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි” කී ය.
28උන් වහන්සේ, ”ඔබේ උත්තරය හරි ය. එසේ කරන්න, එවිට ඔබ ජීවත් වන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.
29එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව ”මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය.
30ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: ”එක් මිනිසෙක් ජෙරුසලමෙන් ජෙරිකෝව බලා යද්දී, සොර මුළකට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට තළා පෙළා, ඔහු අඩ පණ කොට දමා යන්නට ගියහ.
31ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය.
32එසේ ම ලෙවීයයෙක් ද, එතැනට පැමිණ ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය.
33එහෙත්, ඒ මඟින් ගමන්ගත් එක් සමාරිය ජාතික මිනිසෙක් ඔහු හුන් තැනට අවුත්, ඔහු දැක, අනුකම්පා උපදවා,
34ඔහු වෙතට ගොස්, තෙල් හා මිදියුස ගල්වා, තුවාළ බැඳ, තමාගේ ම මෘගයා පිට හිඳුවා, තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේ ය.
35පසුවදා ඔහු රිදී කාසි දෙකක් ගෙන තානායම්කාරයාට දී, ‘මොහු බලාගන්න; මෙයට වැඩියෙන් ඔබ වියදම් කරන යම් තරමක් ඇද්ද, නැවත ආ විට මම එය ඔබට ගෙවන්නෙමි’යි කී ය.
36ඉදින් සොරුන් අතට අසුවූ ඒ තැනැත්තාට මෙකී තිදෙනාගෙන් අසල්වැසියා වූයේ කවරෙක් ද කියා ඔබ සිතන්නෙහි ද?
37ඔහුට දයාව දැක්වූ තැනැත්තා ය”යි විනයධරයා කී ය. ”ඔබත් ගොස් එසේ ම කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.