කියවීම්
2027 ඔක්තෝබර් 12
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
රෝම 1: 16-25
16මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි.
17මනුෂ්‍යයන් දමිටු කරනු ලැබීමේ මාර්ගය, මුල සිට අග දක්වා ම ඇදහිල්ලෙන් වන බව දැන් සුබ අස්න නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවිලිවල සඳහන් පරිදි: ”ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවනය අත්කරගනිති.”
18අධර්මයෙන් සත්‍යයට අකුල් හෙළන මිනිසුන්ගේ අභක්තිය හා අධර්මිෂ්ඨකමට විරුද්ධ ව දේව උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වන්නේ ය.
19දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක් සේ පැහැදිලි ය; දෙවියන් වහන්සේ ම එය ඔවුනට අනාවරණය කර දී ඇත.
20ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන උන් වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන් වහන්සේගේ සදාතන බල මහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන් වහන්සේගේ මැවිලිවලින් ප්‍රකාශ කර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත.
21දෙවියන් වහන්සේ ගැන දැන දැනත්, උන් වහන්සේට පිදිය යුතු ගෞරවය වත්, තුතිපැසසුම් වත් ඔව්හු උන් වහන්සේට නොපිදූ හ. මෙසේ ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත් වී, ඔවුන්ගේ මුළා ව ගිය මනස අඳුරු විය.
22සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩූ ඔවුන් අඥානයන් වී ඇත.
23ඔව්හු අජරාමර දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට, ජරාපත් වන මිනිසුන්ගේ ද පක්ෂීන්ගේ ද සිව්පාවුන්ගේ ද උරගයන්ගේ ද සමානකම් ඇති පිළිරූ යොදාගත්හ.
24එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ මාංසික තෘෂ්ණාවලට ද කායික දූෂණවලට ද ඔවුන් පාවා දුන් සේක.
25එසේ කෙළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් වැළඳ ගෙන, මැවුම්කාරයාණන් වෙනුවට මැවිල්ලට වැඳුම්පිදුම් හා ගැතිකම් කළ නිසා ය. උන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්.
Responsorial Psalm
ගීතාවලිය 19: 2-3, 4-5
2එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය.
3කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.
4එය දියත දසත විහිදී යයි, දෙවි තුමාණෝ හිරුට එහි මණ්ඩපයක් සාදා දුන් සේක.
5මඟුල් පෝරුවකින් බැස එන මනාලයෙකු ලෙසින්, ප්‍රීතියෙන් තරඟයට අරඅඳින වීර ධාවකයෙකු විලසින්,
Alleluia
හෙබ්‍රෙව් 4: 12
12දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
Gospel
ශුද්ධ වූ ලූක් 11: 37-41
37උන් වහන්සේගේ දේශනාවෙන් පසු එක් පරිසිවරයෙක් තමා සමඟ කෑමට වඩින මෙන් උන් වහන්සේට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ ඇතුළු ව කෑමට වැඩහුන් සේක.
38කෑම කන්නට පළමු ව උන් වහන්සේ අත් සේදීමේ පිළිවෙත ඉටු නොකළ බැව් දුටු පරිසිවරයා පුදුම විය.
39සමිඳාණන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක: ”පරිසිවරුනි, ඔබ කෝප්පයේ ද පිඟානේ ද පිටපැත්ත සෝදා පිරිසුදු කරන්නාහු ය; එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත.
40අඥානයෙනි, පිටපැත්ත මැවූ තැනැන් වහන්සේ ඇතුළු පැත්තත් නොමැවූ සේක් ද?
41එසේ නම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ල ම ඔබට පිරිසුදු වන්නේ ය.