කියවීම්
2027 ඔක්තෝබර් 6
Ordinary Weekday/ Bruno, Priest, Hermit, Religious Founder/ Blessed Marie-rose Durocher, Virgin, Religious Founder
Blessed Marie-rose Durocher, Virgin, Religious Founder
First Reading
ජෝනා 4: 1-11
1ජෝනා ඊට අතිශයින් අප්‍රසන්න ව කෝප විය.
2ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: ”අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.
3ඉතින් සමිඳුනි, මාගේ ප්‍රාණය මාගෙන් තුරන් කළ මැනව. ජීවිතයට වඩා මරණය මට හොඳ ය.”
4සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, ”කෝප වීම නුඹට යුතු දැ”යි ඇසූ සේක.
5එවිට ජෝනා නගරනේ පිටතට ගොස් නගරයට නැගෙනහිරෙන් හිඳගත්තේ ය. ඔහු එහි පැලක් සාදාගෙන නගරයට කුමක් සිදු වේ ද කියා බලන පිණිස එහි සෙවණ යට හිඳගත්තේ ය.
6දෙවි සමිඳාණන් වහන්සේ, ජෝනා ඔහුගේ දුකින් මුදන පිණිස ලබු වැලක් වැඩෙන්නට නියම කර, ඔහුගේ හිසට උඩින් එය සෙවණක් සේ යන්නට සැලැසූ සේක. ජෝනා ලබු වැල ගැන ඉතා ප්‍රීති විය.
7එහෙත්, පසු දා පහන් වූ විට ලබු වැල කන පිණිස පණුවෙකු ඇති වන්න දෙවියන් වහන්සේ සැලැසූ සේක. ඌ ලබු වැල කෑ විට එය වියළී ගියේ ය.
8තවද, ඉර උදා වූ කල, ඉතා උෂ්ණ සුළඟක් පෙරදිගින් හමන්න උන් වහන්සේ නියම කළ සේක. අවුරශ්මිය ජෝනාගේ හිසට වැදී ඔහු ක්ලාන්ත වී, ”ජීවිතයට වඩා මරණය හොඳ ය” කියා සිය ප්‍රාණය හානි කරන ලෙස යාච්ඤා කෙළේ ය.
9එවිට දෙවියන් වහන්සේ, ”ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. ”මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.
10එවිට සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, ”නුඹේ ශ්‍රමය වත්, වගාව වත් නැති ව එක රැයකින් ඇති වී, එක රැයකින් නැති වී ගිය ලබු වැල ගැන නුඹ අනුකම්පා කෙළෙහි නම්,
11තමන්ගේ දකුණතත් වමතත් අතරේ වෙනස නොදන්න එක් ලක්ෂ විසි දහසකට වඩා මනුෂ්‍යයන් ද ගවයන් ද සිටින නිනිවය නම් ඒ ශ්‍රේෂ්ඨ නගරය කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේ දැ”යි වදාළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 86: 3-4, 5-6, 9-10
3මාගේ සමිඳුනි, මට අනුකම්පා කළ මැනව. මුළු දවස පුරා මම ඔබට අයැදිමි.
4ඔබේ දාසයාගේ සිත ප්‍රීතිමත් කළ මැනව. මන්ද, මාගේ සමිඳුනි, මම ඔබට යාච්ඤා කරමි.
5මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.
6සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව.
9මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය. ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය.
10ඔබ බලසම්පන්න ය, අරුමපුදුම දේ කරන සේක. ඔබ පමණක් දෙවිඳාණෝ ය.
Alleluia
රෝම 8: 15bc
15මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, ”අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි.
Gospel
ශුද්ධ වූ ලූක් 11: 1-4
1උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, ”ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ”යි කීවේ ය.
2උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ”ඔබ යාච්ඤා කරන කල මෙසේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.
3අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.
4අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ ”