කියවීම්
2027 ඔක්තෝබර් 7
Our Lady of the Rosary Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
මලාකි 3: 13-18, 4: 1-2b
13සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”නුඹලා මට විරුද්ධ ව නපුරු දේ කියා ඇත. එසේ වුවත් ‘ඔබට විරුද්ධ ව අපි කුමක් කීවෙමු දැ’යි නුඹලා අසන්නහු ය.
14‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද?
15අපට පෙනෙන හැටියට නම් වාසනාව ඇත්තේ උඩඟු අයට ය; දියුණු වන්නේ නපුරුකම් කරන අය ය. ඔව්හු දෙවියන් වහන්සේ පරීක්ෂා කරතත් නිදහස් ව සිටිති’යි නුඹලා කියන්නහු ය.”
16එකල සමිඳාණන් වහන්සේට ගරුබිය දැක්වූ අය එකිනෙකා සමඟ කතා කරගත් විට සමිඳාණන් වහන්සේ ඔවුන් කී දේට සවන් දුන් සේක. සමිඳාණන් වහන්සේට බිය වන්නා වූ ද උන් වහන්සේට ගෞරව කරන්නා වූ ද අය සම්බන්ධයෙන් උන් වහන්සේ ඉදිරියේ පොතක සටහනක් ලියන ලද්දේ ය.
17සියලු බලැති සමිඳාණන් වහන්සේ කී දේ ඒ පොතේ මෙසේ සටහන් කර ඇත. ”ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය, මා ක්‍රියා කරන දවසේ දී ඔව්හු මාගේ ම විශේෂ උරුමය වන්නෝ ය. පියෙකු තමාට සේවය කරන පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් මම ඔවුන්ට කරුණාව දක්වන්නෙමි.
18එකල ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේ ද දෙවියන් වහන්සේට සේවය කරන්නා හා උන් වහන්සේට සේවය නොකරන්නා අතරේ ද ඇති වෙනස නුඹලා දකිනු ඇත.”
Responsorial Psalm
ගීතාවලිය 1: 1-2, 3, 4 and 6
1දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන,
2සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.
3ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.
4පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.
6දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක. පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.
Alleluia
ක්‍රියා 16: 14b
14ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 11: 5-13
5තවද උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ”ඔබ අතර මිතුරෙකු ඇති තැනැත්තෙක් මහ රෑ ඔහු වෙත ගොස්, ‘මිත්‍රය, මට රොටි තුනක් දෙන්න;
6ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා වෙත අවුත් සිටියි; ඔහුට දෙන්න කිසිවක් මා ළඟ නැතැ’යි කියන්නේ නම්,
7ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, ‘මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය’යි කියයි ද?
8මම ඔබට මෙය කියමි, ඔහු සිය මිත්‍රකම සලකා නැඟිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලජ්ජා නැති පෙරැත්තය නිසා නැඟිට, වුවමනා පමණ ඔහුට දෙනු ඇතැ”යි වදාළ සේක.
9මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ.
10මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
11ඔබ අතරෙන් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයෙකු දෙයි ද?
12නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සකු දෙයි ද?
13මෙසේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?”