ඔක්තෝබර් 2027

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2027 ඔක්තෝබර් 30

Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary

Optional Memorial of the Blessed Virgin Mary
First Reading

රෝම 11: 1-2a, 11-12, 25-29

1එසේ නම් දෙවියන් වහන්සේ සිය සෙනඟ අත් හළ සේක් දැ යි මම ප්‍රශ්න කරමි. කොහෙත් ම නැත. මන්ද, මමත් ආබ්‍රහම්ගේ පෙළපතට ද බෙන්ජමින්ගේ ගෝත්‍රයට ද අයත් ඉශ්රායෙල් ජාතිකයෙක්මි. 2දෙවියන් වහන්සේ ආදියේ දී තෝරාගත් සිය සෙනඟ අත් නොහළ සේක. ශුද්ධ ලියවිල්ලේ එලියා ගැන ලියා තිබෙන පරිදි ඔහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව දෙවියන් වහන්සේට චෝදනා කළ සැටි ඔබ දන්නවා නොවේ ද? 11එසේ වී නම්, ඔවුන් පැකුළුණේ වැටෙන පිණිස දැ යි ප්‍රශ්න කරමි. එසේ නොවේ. ඉශ්රායෙල් ජාතියේ වැටීම හේතුකොටගෙන විජාතීන්ට ගැළවීම පැමිණ තිබේ. එසේ වූයේ ඉශ්රායෙල්වරුන් තුළ උනන්දුව පුබුදුවන පිණිස ය. 12ඉදින් ඔවුන්ගේ වැටීම ලෝකයාට සුබ සෙත පිණිස ද ඔවුන්ගේ පිරිහීම විජාතීන්ට සුබ සෙත පිණිස ද වේ නම්, ඔවුන්ගේ සම්පූර්ණ නැඟීම කොපමණ වැඩියෙන් සුබ සෙත පිණිස නොවන්නේ ද? 25සහෝදරයෙනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අබිරහසක් ඇතැ යි සිතමි. එනම්, ඉශ්රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකමක් පවතින්නේ විජාතීන් සියලු දෙනා ම ගැළවීම ලබන තුරු පමණකි. 26ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව ම ගැළවීම ලබන්නෝ ය. ඒ බවට: ”සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ වඩින සේක; උන් වහන්සේ ජාකොබ්ගේ පෙළපතින් දුෂ්ටකම දුරු කරන සේක. 27ඔවුන්ගේ පාප දුර ලන කල, ඔවුන් සමඟ මම මේ ගිවිසුම කරගතිමි”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත. 28ජුදෙව්වරුන් සුබ අස්න ප්‍රතික්ෂේප කළ නිසා ඔව්හු දෙවියන් වහන්සේගේ සතුරෝ වූ හ. එය ඔබගේ යහපතට හැරුණි. එහෙත් ඔවුන්ගේ පියවරුන් නිසා දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් බැවින්, ඔව්හු දෙවියන් වහන්සේගේ මිත්‍රයෝ වූ හ. 29දෙවියන් වහන්සේ සිය දීමනා ද කැඳවීම ද වෙනස් නොකරන සේක.
Responsorial Psalm

ගීතාවලිය 94: 12-13a, 14-15, 17-18

12සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපණත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය. 13ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක; එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය. 14සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක. 15අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය; එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය. 17සමිඳාණෝ මට පිහිට නො වූ සේක් නම්, මළවුන්ගේ ලෝකයට විගස යෑමට මට සිදු වන්නට තිබිණි. 18මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය.
Alleluia

ශුද්ධ වූ මතෙව් 11: 29ab

29මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.
Gospel

ශුද්ධ වූ ලූක් 14: 1, 7-11

1සබත් දිනක උන් වහන්සේ නායක පරිසිවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩිය සේක. හැම දෙන ම උන් වහන්සේ දෙස සො‍්දිසියෙන් බලා සිටියහ. 7ආරාධනා ලත් අය ප්‍රධාන ආසන ලබාගන්නට සොයන බව දැක, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව කියමින්, 8යමෙකුගේ විවාහ මඟුලකට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයේ හිඳ නොගන්න. 9යම් හෙයකින් ඔබට වඩා උසස් කෙනෙකු ද කැඳවනු ලැබුවොත්, ඔබ දෙදෙනා ම කැඳවූ තැනැත්තා අවුත්, ‘ඔය ස්ථානය මොහුට දෙන්නැ’යි ඔබට කීවොත්, ලජ්ජාවෙන් යුක්ත ව පහත් ම ස්ථානයට යන්නට සිදු වේ. 10එහෙත්, ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත් ම ස්ථානයෙහි හිඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ අවුත්, ‘මිත්‍රය, ඉහළ තැනකට එන්නැ’යි ඔබට කීවොත් ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහි ය. 11තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක.