කියවීම්
2026 ජනවාරි 3
Christmas Weekday
දවසේ දේව මෙහෙය
Reading I
1 ජොහන් 2:29-3:6
29උන් වහන්සේ ධර්මිෂ්ඨ බව ඔබ දන්නහු නම්, දමිටුකම් කරන සියල්ලන් උන් වහන්සේගෙන් උපත ලබා සිටින බව ඔබට තේරුම් යනු ඇත.
1බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අප ද නොහඳුනති.
2ප්‍රේමවන්තයෙනි, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු. මන්ද, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු.
3උන් වහන්සේ පිළිබඳ මේ බලාපොරොත්තුව ඇති හැම කෙනෙක් ම, උන් වහන්සේ පිරිසිදු ව සිටින්නාක් මෙන්, තමන් ද පිරිසිදු කරගනිති.
4පව් කරන සෑම දෙන ම දේව නීතිය කඩ කරති. පාපය නම් දේව නීතිය කඩ කිරීම ය.
5ක්‍රිස්තුන් වහන්සේ පැමිණියේ පව් දුරු කරන පිණිස බව ඔබ දන්නහු ය. උන් වහන්සේ තුළ පාපයක් නැත.
6යමෙක් උන් වහන්සේ තුළ ජීවත් වන්නේ ද ඔහු පව් නොකරයි. පව් කරන කිසිවෙක් උන් වහන්සේ දුටුවේ වත්, උන් වහන්සේ අඳුනන්නේ වත් නැත.
Responsorial Psalm
ගීතාවලිය 98:1, 3-4, 5-6
1සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
5වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න; වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න.
6හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.
Alleluia
ශුද්ධ වූ ජොහන් 1:14, 12
14ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
12එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 1:29-34
29පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, ”මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!
30මට පසු ව එන තැනැන් වහන්සේ මට පෙර සිටි බැවින් මට වඩා උතුම් යයි යමෙකු ගැන මම කීවෙම් ද? ඒ මුන් වහන්සේ ය;
31මම උන් වහන්සේ නොහැඳින සිටියෙමි; එහෙත්, වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමින්, මා පැමිණියේ උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රකාශ වන පිණිස ය”යි කී ය.
32තවද, ජොහන් සාක්ෂි දරමින්, ”ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බැස උන් වහන්සේ මත වැඩ හිඳිනු මම දිටිමි;
33මම උන් වහන්සේ නොහැඳින සිටියෙමි; එහෙත්, වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරන්නට මා එවා වදාළ තැනැන් වහන්සේ ම මට කතා කොට, ‘ආත්මයාණන් යමෙකු පිට බැස විත් වැඩ හිඳිනු ඔබ දකින්නෙහි ද, ඒ වනාහි ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරන තැනැන් වහන්සේ ය’යි වදාළ සේක.
34ඒ දේ මම ම දිටිමි; දැක, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි සාක්ෂි දැරුවෙමි”යි කීවේ ය.