කියවීම්
2026 ජනවාරි 11
The Baptism of the Lord
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 42:1-4, 6-7
1මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.
2එතුමා උස් හඬින් කතා කරන්නේ වත්, මොරගසන්නේ වත් නැත; වීථිවල ඇසෙන පරිදි හඬ නඟන්නේ නැත;
3තැළුණු බට දණ්ඩක් කඩාදමන්නේ නැත; නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත.
4සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”
6යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි. මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි.
7මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.
Responsorial Psalm
ගීතාවලිය 29:1-2, 3-4, 3, 9-10
1දිව්‍ය පුත්‍රයෙනි, සමිඳුන්ට පැසසුම් දෙන්න; එතුමන් තෙද බල පසසන්න.
2හිමි තුමන් නමට දිය යුතු මහිමය දෙන්න; පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමන් නමදින්න.
3සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.
4සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.
9සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, ”ඔබට මහිමය වේවා”යි කියයි.
10සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.
Reading II
ක්‍රියා 10:34-38
34එවිට පේදුරු මෙසේ කී ය: ”දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබැවින් ම පැහැදිලි ය.
35සියලු ජාතීන් අතර උන් වහන්සේ කෙරෙහි බිය ඇති, හරි දේ කරන තැනැත්තා උන් වහන්සේට ප්‍රියමනාප ය.
36උන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සාමයේ සුබ අස්න ප්‍රකාශ කරමින් ඉශ්රායෙල් පුත්‍රයනට දහම් පණිවුඩය දුන් සේක. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සියල්ලන්ගේ සමිඳාණෝ ය.
37ජොහන් ප්‍රකාශ කළ බව්තීස්ම-ස්නාපනයට පසු ගලීලය පටන් ජුදය මුළුල්ලෙහි සිදු වූ දේ ඔබ දන්නහු ය;
38දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය.
Alleluia
Cf. Mark 9:7
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 3:13-17
13එකල ජේසුස් වහන්සේ ස්නාවක ජොහන් විසින් බව්තීස්ම-ස්නාපනය කරගනු ලබන පිණිස ගලීලයේ සිට ජොර්දානට වැඩම කළ සේක.
14එහෙත්, ජොහන් උන් වහන්සේ වළක්වමින්, ”ඔබෙන් බව්තීස්ම-ස්නාපනය ලැබිය යුත්තේ මම ය; එහෙත්, ඔබ මා වෙත එන සේක් දැ”යි ඇසී ය.
15ජේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, ”දැනට ඉඩ දෙන්න; මෙසේ දේව කැමැත්ත මුළුමනින් ඉටු කිරීම අපට සුදුසු ය”යි වදාළ සේක. එවිට ජොහන් ඊට එකඟ විය.
16ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක.
17තවද, ”මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.