ජනවාරි 2026

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2026 ජනවාරි 16

Friday of the First Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

සාමුවෙල්ගේ පළමු වන පොත 8:4-7, 10-22

4එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්, 5ඔහුට කතා කොට, ”ඔබ මහලු ව සිටින්නෙහි ය, ඔබේ පුත්‍රයෝ ඔබේ අඩි පාරෙහි ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවැ”යි කී හ. 6අප පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මැනවැ”යි කී කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. 7සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ”සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ, ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස 10එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට සමිඳාණන් වහන්සේ වදාළ සියලු දේ කීවේ ය. 11ඔහු ඔවුන්ට මෙසේ කීවේ ය: ”ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේ ය. ඔහු ඔබේ පුත්‍රයන් ගෙන තමාගේ රියැදුරන් හා අසරුවන් වශයෙන් ද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිස ද පත් කරගන්නේ ය. 12ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය. 13ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිස ද කෑම පිසින පිණිස ද රොටි පුළුස්සන පිණිස ද ගන්නේ ය. 14ඔහු ඔබේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු අතරෙන් ඉතා හොඳ ඒවා ද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේ ය. 15ඔබේ ධාන්‍යවලින් ද මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජ වාසලේ නිලධාරීන්ටත්, සෙසු නිලධාරීන්ටත් දෙන්නේ ය. 16ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය. 17ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය. 18ඒ කාලය පැමිණි විට ඔබ ම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඔබට උත්තර නොදෙන සේක.” 19එහෙත්, සෙනඟ සාමුවෙල් කී දේට සවන් නොදී, ”නැත. අපටත් රජ කෙනෙකු ඕනෑ ම ය. 20එවිට අප විනිශ්චය කරන, අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල දී සටන් කරන රජ කෙනෙක් අපට ඇත. අපිත් අන් ජාතීන් මෙන් වන්නෙමු”යි කී හ. 21සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය. 22සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔවුන්ගේ හඬට සවන් දී, ඔවුන්ට රජෙකු පත් කරන්නැ”යි සාමුවෙල්ට වදාළ සේක. සාමුවෙල් ද ඉශ්රායෙල් සෙනඟගේ සියලු දෙනාට කතා කොට, ”තම තමන්ගේ නිවාසවලට යන්නැ”යි කීවේ ය.
Responsorial Psalm

ගීතාවලිය 89:16-17, 18-19

16දවස පුරා ඔව්හු ඔබ අබියස ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඔබේ දැහැමිකම ගැන වෙසෙසින් පසසන්නෝ ය. 17ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙන සේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙන සේක. 18සමිඳුනි, ඔබ අපේ ආරක්ෂාකරු අපට තෝරා දුන් සේක. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳුන් වන ඔබ අපේ රජු අපට දුන් සේක. 19කලකට පෙර ඔබ දර්ශනය වී, බැතිමතුන් හට කතා කොට මෙසේ වදාළ සේක: ”මම වීරයෙකු හිස මත කිරුළ තැබුවෙමි; මාගේ සෙනඟ අතරෙන් තෝරාගත් තැනැත්තෙකුට සිහසුන දිනිමි.
Alleluia

ශුද්ධ වූ ලූක් 7:16

16එකල සියල්ලෝ ම බිය පත් ව, ”ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
Gospel

ශුද්ධ වූ මාර්ක් 2:1-12

1දින ගණනකට පසු ජේසුස් වහන්සේ යළිත් කපර්ණවුමට පිවිසුණු සේක. උන් වහන්සේ ගෙදර සිටින බව පතළ විය. 2එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහ පිරිසක් එහි රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටි සේක. 3එකල සතර දෙනෙක් අංසබාග රෝගියෙකු උසුලාගෙන උන් වහන්සේ වෙත ආහ. 4සමූහය නිසා උන් වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔව්හු උන් වහන්සේ සිටි තැනට ඉහළින් පියස්සේ සෙවිල්ල හැර, පියස්ස කඩා, අංසබාග රෝගියා ඔත් යහන පහතට බැස්වූ හ. 5ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ”පුත්‍රය, ඔබේ පව් කමා කර තිබේ” යයි අංසබාග රෝගියාට වදාළ සේක. 6එහෙත් එතැන හුන් විනයධරයන්ගෙන් සමහරෙක් තර්ක කරමින්, 7මේ මිනිහා මෙසේ කතා කරන්නේ මක්නිසා ද? මේ දේවාපහාසයකි! දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් වෙන කාට දැ”යි සිතූ හ. 8ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකෙණෙහි ම දැනී, ඔවුන්ට කතා කොට, ”ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්නහු ද? 9වඩා පහසු කුමක් ද? අංසබාග රෝගියාට ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඔබේ යහන රැගෙන යන්නැ’යි කීම ද? 10එහෙත්, මෙලොව දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ඇති බැව් ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි”යි කියා උන් වහන්සේ අංසබාග රෝගියාට කතා කොට, 11නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. 12ඔහු නැඟිට එකෙණෙහි ම යහන රැගෙන පිරිස බලා සිටිය දී ම නික්ම ගියේ ය. සියල්ලෝ ම විස්මිත ව, ”මෙවැන්නක් අප කවදාවත් දැක නැතැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.