ජනවාරි 2026

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2026 ජනවාරි 30

Friday of the Third Week of Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

සාමුවෙල්ගේ දෙ වන පොත 11:1-4, 5-10, 13-17

1ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය. 2දිනක් සවස් වේලේ දාවිත් තමාගේ යහනින් නැඟිට ගොස්, රජ මාලිගාවේ පියස්ස උඩ සක්මන් කෙළේ ය. එවිට ස්ත්‍රියක ස්නානය කරනු ඔහු පියස්සේ සිට දිටී ය. ඒ ස්ත්‍රිය ඉතා රූමත් වූවා ය. 3දාවිත් පණිවුඩ යවා ස්ත්‍රිය ගැන විභාග කරවී ය. එක් කෙනෙක් කතා කොට, ”ඈ එලියාම්ගේ දුව වන, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ වන බැත්-ෂෙබා නො‍වේ දැ”යි කී ය. 4දාවිත් පණිවුඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේ ය. ඈ ඔහු ළඟට ආවා ය. ඔහු ඈ සමඟ සේවනයෙහි යෙදිණි; ඒ අවස්ථාවේ දී ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදු වූවා පමණකි. ඈ සිය ගෙදරට පෙරළා ගියා ය. 5ඈ ගැබ්ගෙන, ”මම ගැබ්ගෙන සිටිමි”යි දාවිත්ට දන්වා යැවුවා ය. 6එවිට දාවිත්, ”හිත්තීය උරියා මා ළඟට එවන්නැ”යි ජෝවාබ්ට කියා යැවී ය. ජෝවාබ්, දාවිත් ළඟට උරියා යැවී ය. 7උරියා ඔහු ළඟට ආ කල දාවිත් ඔහුගෙන් ජෝවාබ්ගේ ද සෙනඟගේ ද සැප සනීප ගැනත්, යුද්ධය සිදු වේගෙන යන ආකාරයත් විචාළේ ය. 8ඉන්පසු දාවිත්, ”ඔබ ගෙදර ගොස් විවේකී ව සිටින්නැ”යි උරියාට කීවේ ය. උරියා රජ මාලිගාවෙන් පිටත් ව ගියේ ය. ඔහු ගිය පසු රජුගෙන් ත්‍යාගයක් ඔහු වෙත යවන ලදී. 9එහෙත්, උරියා සිය ගෙදරට නො‍ගොස්, තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ රජ මාලිගාවේ දොරකඩ නිදාගත්තේ ය. 10උරියා තමාගේ ගෙදරට නො‍ගියේ ය”යි දාවිත්ට දන්වනු ලැබූ කල, දාවිත් උරියාට කතා කොට, ”ඔබ ගමනක් ගොස් ආවා නො‍වේ ද? ඔබ ගෙදර නො‍ගියේ මන්දැ”යි ඇසුවේ ය. 13පසු දින දී දාවිත් ඔහු කැඳවා, ඔහුට කන්නටත්, බොන්නටත් දී ඔහු වෙරිමත් කෙළේ ය. ඔහු සවස තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදන පිණිස ගියේ ය. එහෙත් සිය ගෙදරට නො‍ගියේ ය. 14පසු දින උදේ දාවිත් ජෝවාබ්ට ලියුමක් ලියා එය උරියා අතේ යැවී ය. 15ඔහු ඒ ලියුමේ, ”සටන ඉතා බලවත් ව තිබෙන තැනක උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වන්නැ”යි ලියා යැවී ය. 16ජෝවාබ් නුවර වටලා සිටිය දී වීරවන්ත මිනිසුන් සිටින බව ඔහු දැන සිටි ස්ථානයේ උරියා සිටෙවුවේ ය. 17නගර වැසියෝ පිටතට අවුත් ජෝවාබ් සමඟ යුද්ධ කළහ. එවිට සෙනඟගෙන් එනම්, දාවිත්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මැරී වැටුණ හ. හිත්තීය උරියා ද මැරුම් කෑවේ ය.
Responsorial Psalm

ගීතාවලිය 51:3-4, 5-6, 6-7, 10-11

3මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ. 4ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය. 5පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ. 6සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව. 7ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. 10දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව. 11ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව; ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව.
Alleluia

ශුද්ධ වූ මතෙව් 11:25

25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
Gospel

ශුද්ධ වූ මාර්ක් 4:26-34

26තවද, උන් වහන්සේ කතා කරමින්, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි; 27රෑ දාවල් දෙක්හි ඔහු නිදා සිටිය දීත්, අවදිව සිටිය දීත්, ඔහු නොදන්නා අයුරින් බීජ පැළවී වැඩෙයි. 28පොළොව එහි ස්වභාවයෙන් ම පල හටගන්වයි. පළමුව දලුව ද දෙවනුව කරල ද ඉන්පසු කරල පුරා ධාන්‍ය ද හටගනියි. 29ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක. 30තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම් ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම් ද? 31එය අබ ඇටයකට සමාන ය. එය පොළොවේ වපුරන කල මිහි පිට සියලු බීජවලට වඩා කුඩා වුවත්, 32වපුළායින් පසුව වැඩී, සියලු ම පැළෑටිවලට වඩා ලොකු වේ. එහි සෙවණෙහි අහසේ කුරුල්ලන්ට ලගින්න හැකි වන තරම් විශාල අතු එය විහිදුවන්නේ ය.” 33උන් වහන්සේ මෙවැනි උපමා රැසක් මඟින්, අසන්නන්ට තේරුම්ගත හැකි පමණට දහම් දෙසූ සේක. 34උපමාවක් නැති ව උන් වහන්සේ ඔවුන්ට කිසිත් නොවදාළ සේක. එහෙත්, උන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන් සේක.