කියවීම්
2026 ජනවාරි 7
Wednesday after Epiphany
දවසේ දේව මෙහෙය
Reading I
1 ජොහන් 4:11-18
11ප්‍රේමවන්තයෙනි, දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළ සේක් නම්, අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතු ය.
12කිසිවෙකු කිසි කලෙක දෙවියන් වහන්සේ දුටුවේ නැත. එහෙත්, අපි එකිනෙකාට ප්‍රේම කරමු නම්, දෙවියන් වහන්සේ අප තුළ වැඩවසන සේක. උන් වහන්සේගේ ප්‍රේමය ද අප තුළ පරිපූර්ණ වන්නේ ය.
13අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි.
14තවද, පියාණන් වහන්සේ තමන් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු.
15යමෙක් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව අදහාගනිමින් ප්‍රකාශ කරන්නේ ද, දෙවියන් වහන්සේ ඔහු තුළත්, ඔහු දෙවියන් වහන්සේ තුළත් වාසය කරති.
16මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක.
17ප්‍රේමය අප තුළ පරිපූර්ණ වූ කල, විනිශ්චය දවසේ දී අපට නිසැකකම ඇති වේ. මන්ද ක්‍රිස්තුන් වහන්සේ මෙලොව ජීවත් ව සිටින සේ ම අපිත් ජීවත් වෙමු.
18ප්‍රේමයෙහි බියක් ඇති නොවේ. ප්‍රේමය බිය දුරු කරයි. බිය වීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින්, බිය වන්නා ප්‍රේමයෙහි පරිපූර්ණ වී නැත.
Responsorial Psalm
ගීතාවලිය 72:1-2, 10, 12-13
1දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව! රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව!
2එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේ ය. ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ ය.
10තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;
12එතුමා සහන පතා මොරගසන අසරණයන් මුදාගත්තේ ය; පිහිට නැති පීඩිතයන් ද නිදහස් කරගත්තේ ය.
13එතුමා, දුගී දුප්පතුන්ට හා දුබලුන්ට අනුකම්පා කරන්නේ ය; දිළිඳුන්ගේ ජීවිත මුදාගත්තේ ය.
Alleluia
1 තිමෝති 3:16
16අපේ ඇදහිල්ලේ අබිරහස නිසැක ව ම ගැඹුරු එකකි. ඒ අබිරහස මේ ය: උන් වහන්සේ මිනිසත්බව ගෙන, ආත්මයාණන් විසින් සහතික කරනු ලැබ, දූතයන්ට දිස් වූ සේක. විජාතීන්ට ප්‍රකාශ කරනු ලැබ, ලොව පුරා අදහාගනු ලැබ, මහිමයෙන් ඔසවනු ලැබූ සේක.
Gospel
ශුද්ධ වූ මාර්ක් 6:45-52
45එකෙණෙහි ම උන් වහන්සේ සමූහයා විසුරුවා හැරිය සේක. සිය ශ්‍රාවකයන්ට ද ඔරුවට නැඟී තමන්ට පෙරටුව බෙත්සයිදාව බලා එගොඩට යන්න අණ දුන් සේක.
46උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාච්ඤා කරනු වස් කන්දට නැඟුණු සේක.
47සවස් වූ කල ඔරුව මුහුද මැද විය. උන් වහන්සේ තනි ව ගොඩ සිටි සේක.
48සුළඟ ඔවුන්ට විරුද්ධ ව හැමූ බැවින්, ඔවුන් ඔරු පැදීමෙන් වෙහෙසෙනු දුටු උන් වහන්සේ, රෑ සතර වැනි යාමය b පමණේ දී මුහුද පිට ඇවිදිමින් ම ඔවුන් වෙත අවුත් ඔවුන් පසු කර යන්න තැත් කළ සේක.
49ඔව්හු උන් වහන්සේ මුහුද පිට ඇවිදිනු දැක, ”ඒ අවතාරයකැ”යි සිතා බියෙන් මොරගැසූ හ.
50සියල්ලෝ ම උන් වහන්සේ දැක බිය වූ හ. එහෙත් උන් වහන්සේ එකෙණෙහි ම, ”ධෛර්ය ගන්න; ඒ මම ය; බිය නොවන්නැ”යි ඔවුන්ට කියා
51ඔවුන් සිටි ඔරුවට නැඟුණු සේක. සුළඟ නැවතිණි. ඔව්හු විස්මයෙන් විස්මයට පත් වූ හ.
52ඔවුන්ගේ මනස අඳුරු වී තිබිණි. මක්නිසා ද රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි.