කියවීම්
2026 ජනවාරි 13
Tuesday of the First Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
සාමුවෙල්ගේ පළමු වන පොත 1:9-20
9වරක් ෂිලෝහි දී ඔවුන් කා බී හමාර වූ පසු හන්නා නැඟිට සිටියා ය. ඒලී නම් පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උළුවහු කණුව ළඟ තිබුණු සිය ආසනේ හිඳගෙන සිටියේ ය.
10හන්නාගේ සිත ශෝකයෙන් පිරී තිබිණි. ඈ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් අඬ අඬා සිටියා ය.
11ඈ බාරයක් වෙමින්, ”සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.
12හන්නා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤා කරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේ ය.
13හන්නා නිශ්ශබ්ද ව යාච්ඤා කළා ය. ඇගේ තොල් පමණක් සෙලවුණ නමුත්, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඒ නිසා ඈ බීමත් වී සිටිති යි ඒලී සිතුවේ ය.
14ඒලී කතා කොට, ”ඔබ කොපමණ කල් වෙරි වී සිටින්නෙහි ද? වෙරි මත ඔබෙන් පහ වන තුරු ඉවතට යන්නැ”යි කී ය.
15හන්නා උත්තර දෙමින්, ”මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රික පානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි උන් වහන්සේ ඉදිරියෙහි වැගිර වූයෙමි.
16ඔබේ මෙහෙකාරී කමකට නැති ස්ත්‍රියකැ යි නොසිතන්න. මා මේ ආකාරයෙන් යාච්ඤා කරමින් සිටියේ මාගේ දුකේ හා සිත් වේදනාවේ වැඩිකම නිසා ය”යි කීවා ය.
17එවිට ඒලී පිළිතුරු දෙමින්, ”ශාන්ති සිතින් යන්න; ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන් වහන්සේ ඔබට ඉෂ්ට කර දෙන සේක්වා”යි කීවේ ය.
18ඈ ද, ”ඔබේ දාසීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේ වා”යි කියා එතැනින් පිටත් ව ගොස් කෑම කෑවා ය. ඉන්පසු ඇගේ මුහුණ ද මළානික ව නොතිබිණි.
19පසු දින අලුයම එල්කානා සහ ඔහුගේ පවුල නැඟිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කොට, හැරී ගොස් රාමාහි තමන්ගේ ගෙදරට ගියෝ ය. එල්කානා සිය බිරිඳ වන හන්නා සමඟ එක් විය. සමිඳාණන් වහන්සේ ද ඇය සිහි කළ සේක.
20ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. ”එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය.
Responsorial Psalm
සාමුවෙල්ගේ පළමු වන පොත 2:1, 4-5, 6-7, 8
1හන්නා යාච්ඤා කරමින් මෙසේ කීවා ය: ”මා සිත සමිඳුන් කෙරෙහි ප්‍රීතිමත් වේ; මාගේ සවිය සමිඳුන් කෙරෙහි උසස් වී තිබේ. මාගේ මුවින් මා සතුරන්ට මම සරදම් කරමි; ඔබ මා ගැළෙවු නිසා මම ප්‍රීති වෙමි.
4බලවතුන්ගේ බලය දුබල වී ඇත. දුබලයෝ බලවත් වී ඇත.
5කා බී තර වී සිටි අය කුලී වැඩ කරති; සාගින්නෙන් පෙළී සිටි අයට සාගින්නක් තවත් නැත. වඳ ස්ත්‍රියට දරුවන් සත්දෙනෙක් ඇත. බොහෝ දරුවන් ලැබූ ස්ත්‍රියට දැන් එකෙක් වත් නැත.
6මරණය සමිඳුන්ගෙන් ය, ජීවිතය ද සමිඳුන්ගෙන් ය; පාතාලයට ගෙන යන්නේත්, එයින් ගෙන එන්නේත් සමිඳාණෝ ය.
7සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක.
8අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.
Alleluia
1 තෙසලෝනික 2:13
13තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණිවුඩයක් හැටියට ය. මන්ද, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය.
Gospel
ශුද්ධ වූ මාර්ක් 1:21-28
21ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක.
22උන් වහන්සේගේ අනුශාසනාව ගැන ඔව්හු විස්මිත වූ හ. මන්ද, උන් වහන්සේ විනයධරයන් මෙන් නොව බලධාරී කෙනෙකු මෙන් අනුශාසනා කළ හෙයිනි.
23එකල ඔවුන්ගේ ධර්මශාලාවෙහි අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් විය.
24ඔහු මෙසේ මොරහඬ දුනි: ”නාසරෙත්හි ජේසුස් වහන්ස, ඔබත් අපත් අතර මොන ගනු දෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි; ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය.”
25ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, ”කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක.
26එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය.
27ඒ දුටු සියල්ලෝ ම මවිත වී, ”මේ කුමක් ද? අලුත් ධර්මයකි! මෙතුමාණෝ බලධාරී කෙනෙකු මෙන් උගන්වති; මුන් වහන්සේ අණ දෙන විට අශුද්ධාත්මයෝ වුව ද කීකරු වෙති”යි කී හ.
28එකෙණෙහි ම උන් වහන්සේ පිළිබඳ පුවත අවට ගලීලය පුරා දස දෙස පැතිර ගියේ ය.